පිරිහෙන සමාජයට බුදු දහමින් පිළිසරණ

Posted: September 11, 2014 in සරණක් සොයා ෴

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි වැදගත් ලක්ෂණයක් වන්නේ පළමුවෙන් ම පුද්ගලයාගේ මෙලොව සමාජ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මඟ පෙන්වා තිබීමයි. පරලොව යහපත හා සුභසිද්ධිය පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව ය. එබැවින් මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය වැනි බොහෝ සූත්‍ර දේශනාවන්හි අඩංගු වන්නේ මෙලොව ජීවිතය දියුණු කරගත යුතු ආකාරයයි. වත්මන් සමාජය කෙරෙහි විමසිල්ලෙන් බලන විට පෙනීයන්නේ විවිධ දුෂ්චරිතවලට පෙළඹී, සමාජ පිළිල හැටියට ජීවත්වන්නගෙන් වැඩිම පිරිස ආගම දහම ප්‍රතික්ෂේප කරමින් සමාජ හා මානව ආචාර ධර්ම නොසලකා හරින්නන් වන බවයි.

ඉහත සඳහන් කළ ධර්ම සූත්‍ර දේශනා අතරින් සිඟාලෝවාද සූත්‍රය පමණක් හෝ මැනවින් ධාරණය කරගෙන ඊට අනුව වත්මන් සමාජය හැඬ ගැසෙන්නේ නම් පිරිහෙමින් පවතින සංකීර්ණ ගති ලක්ෂණ ඇති කවරම පුද්ගලයෙකු හෝ මානව සමාජයක් හෝ ඉතා උසස් මානසික දියුණුවකට පත්වන බවට කිසිදු සැකයක් නැත. ස්වකීය දියුණුව අභිවෘද්ධිය සඳහා පුද්ගලයෙකු විසින් අනුගමනය කළ යුතු මූලික ගුණාංග කීපයක් සූත්‍රයේ ආරම්භයේ දී ම විග්‍රහ කර ඇත. ඒ අනුව සමාජය දූෂිත වීමට බලපාන සතර කර්ම ක්ලේශ ඒවා මෙලොව හා පරලොව යන දෙලොවම ජය ගත හැකි කරුණු ලෙස ඉහත සූත්‍රයේ සඳහන් වේ. පරපණ නැසීමට හුරුවීම, සොරකම් කිරීමට යොමුවීම, කාමයෙහි වරදවා හැසිරීමට පෙළඹීම, බොරුකීම යන කරුණුවලින් වැළකීම පුද්ගලයකුගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පෙන්වා දී ඇත.

ප්‍රාණ ඝාතය යන්න ගැන විමසීමේ දී වත්මන් සමාජය පරපණ නැසීම හෙවත් අන්‍යයන් ඝාතනය කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නේ මිනිස් ඝාතනය පමණක් වරදක් ලෙස උපකල්පනය කරමිනි. කුඩා ශරීරයක් ඇති සතෙකු කපා කොටා ඝාතනය කිරීමේ දී ඇතිවන සිත කෙබඳු විය හැකි ද?. ලේ වගුරුවමින් මරණ වේදනාවෙන් දඟලන සතෙකු දුටු විට පුද්ගලයා තුළ පහළවන ආවේගකාරී මානසික තත්ත්වයකි. කුඩා සතෙකු ඝාතනය කිරීමට නැවත නැවත යොමු වූ තැනැත්තාට ඊට වඩා විශාල සතෙකු වුව ද ඝාතනය කිරීම දුෂ්කර කරුණක් නොවේ. එසේ ඝාතන සංස්කෘතියක් බිහි වූ සමාජයේ සුළු වරදකට වුවද මිනිසෙකු ඝාතනය කිරීමට පෙළඹෙන සිතිවිලි මාලාවක් ඔහුගේ යටි සිතෙහි තැන්පත් විය හැකිය.

3-1

එසේ මිනිසෙකු ඝාතනය කළ පුද්ගලයාට පවුල් පිටින් වුවද මිනිසුන් ඝාතනය කිරීම දුෂ්කර කාර්යයක් නොවෙයි. මිනිස් සිත තුළ සහජයෙන් පහළවන මෘදු බවෙන් මිනිසා දුරස්ථ වීම මීට ප්‍රධාන හේතුවයි. දරුණු සිතුම් පැතුම් ඇති පුද්ගලයන් සමාජය තුළ බිහිවන්නේ මෙබඳු පරිසර තුළින් බව අවධාරණය කළ හැකිය.

වත්මන් සමාජය සංකීර්ණ දූෂිත සමාජයක් වීමට තවත් ප්‍රබල සාධකයක් වන්නේ සොරකම් කිරීමයි. එය දෙවන කර්ම ක්ලේශය ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දැක් වේ. සොරකම හේතුවෙන් ඝාතනය සමාජයට හුරුවන ආකාරය මුලින් ප්‍රකාශ කර ඇත. සොරකමෙන් ඝාතනයත් ඝාතනයෙන් සොරකමත් සිදුවිය හැකි බැවින් මෙම ප්‍රබල මානව දුර්වලතා දෙක එකිනෙකට සමාන්තරව ව්‍යාප්ත වන බව පැවසිය හැකිය.

වත්මන් සමාජයේ පිරිහීම කෙරෙහි බලපා ඇති ඊළඟ ප්‍රබල සාධකය කුමක් ද? සිඟාලෝවාද සූත්‍රයේ තෙවැන කර්ම ක්ලේශය ලෙස දක්වා ඇති කාමයෙහි වරදවා හැසිරීම නමැති මිනිස් සමාජය කෙලෙසන ප්‍රබල වරදයි. පියාට දියණිය හඳුනාගත නොහැක. සහෝදරයාට සහෝදරිය හඳුනාගත නොහැකි සමාජයක් බිහිවෙමින් පවතින්නේ වත්මන් මානව සමාජය තුළ ආවේගකාරී කාම රැල්ලක් ව්‍යාප්ත වෙමින් පවතින බැවිනි. රාගය, කෝපය වැනි හැඟීම් පුද්ගල මනසක පොදු ධර්මතා විය හැකිය. එබැවින් ඒවා පාලනය කර ගැනීම සඳහා මිනිස් වර්ගයාට යම් උපක්‍රමයක් භාවිත කිරීමට සිදුවේ. එසේ නොවුණහොත් මිනිස් සමාජයම සහමුලින් ම තිරිසන් සමාජ ලක්ෂණ පෙන්නුම් කරන්නක් විය හැකිය. ආශාව, රාගය, කෝපය වැනි මිනිස් සමාජයට පිරිහීමට පත්කළ හැකි මෙම සහජ හැඟීම් පාලනය කිරීමට බුදු දහම හැර වෙනත් දහමක් ඇත්ද යන්න හොඳින් විමසා බැලිය යුතු අවස්ථාව දැන් එළඹ තිබේ.

සිඟාලෝවාද සූත්‍රයේ දී මිනිසා පිරිහීමට පත්වන සතරවන කර්ම ක්ලේශය ලෙස සඳහන් වන්නේ බොරු කීමයි. බොරු කීම ස්වභාවික අංගයක් බවට පත් වූ සමාජය රැවටීම් බහුල මිනිසුන් සහිත සමාජයකි. අනුන් මුලාවට පත්කර ස්වකීය අභිමතාර්ථ ඉටුකර ගැනීමට මාන බලන සමාජයක් කිසිදු දියුණුවකට පත් නොවේ. එහි වැදගත්කමක් ද නැත. සමස්ථයක් ලෙස ගතහොත් බුදුදහමේ දැක්වෙන මූලිකාංගය වූ පන්සිල් පද පහ හෝ රැකීමට සමාජයේ සියල්ලන් යොමු වන්නේ නම් එපමණකින්ම වත්මන් පිරිහෙන සමාජයට බුදු දහමින් මහඟු පිළිසරණක් ලැබෙන බව ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය. මේ කියවන ඔබ කවරෙකු හෝ වේවා සත්‍යය කුමක් ද? යන්න වටහා ගැනීමටත් අප විසින් කළ යුතු දේ කුමක් ද යන්න වටහා ගැනීමටත් වෑයම් කරන්න. එවිට ඔබත් ඔබ අවට සමාජයත් පිවිතුරු සැපතකින් හා සතුටින් පිරුණු සමාජයක් බවට පත්වනු නො අනුමානය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට බුදු දහමේ බොහෝ දහම් කරුණු ඇතත් සිඟාලෝවාද සූත්‍රයේ තවත් කරුණු කීපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කළෙමි.

ඔබ අප වෙසෙන මේ සමාජය යහපත් කර ගැනීමට තවත් අවශ්‍යම කරුණක් වන්නේ සතර අගතියෙන් වෙන් වීමයි. එනම්; ඡන්දයෙන් අගතියට යෑම, ස්වකීය රුචිකත්වය කැමැත්ත අනුව අගතිගාමී තීන්දු තීරණ ගැනීම, ද්වේශයෙන් අගතියට යාම හෙවත් අනුන් කෙරෙහි ඇති වූ තරහ, ක්‍රෝධය, කෝපය, පළිගැනීම නිසා අගතිගාමී අසාධාරණ තීරණ ගැනීම, බයෙන් අගතියට යාම හෙවත් බලවතා කෙරෙහි බයෙන් හෝ තමාට අවාසියක් වේයැයි භයෙන් හෝ තමාගේ වරප්‍රසාද අහිමිවේ යැයි බයෙන් හෝ අගතිගාමී අසාධාරණ තීන්දු තීරණ ගැනීම, කිසිවක් වටහාගත නොහැකි තත්ත්වයක් වන මෝහයෙන් අගතිගාමී තීන්දු තීරණ ගැනීම යනාදී සමාජය පිරිහීමට ලක් කරන වැරැදිවලින් ඈත් වීමට වෑයම් කරන්න.

උත්සාහයෙන් ජීවිතය ජය ගැනීමට වෑයම් කිරීම, පරාර්ථකාමී හැඟීම් දියුණු කර ගැනීමට උත්සාහ කිරීම හා ප්‍රතිපත්ති ගරුක සමාජ රීතිවලින් බැහැර නොවී නීතිගරුකව ජීවිතය ගෙනයාමට හුරුවීම තුළින් වත්මන් සමාජය තුළ තිබෙන ගැටලු නිරාකරණය කර ගත හැකිය. ඉවසීමෙන් තොර පුද්ගලයා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දේශනා කර ඇත. ඉවසීම දියුණු කළ පුද්ගලයාගෙන් සමාජයට යහපත් වේ. සිඟාලෝවාද සුත්‍රයේ දක්වා ඇති සමාජ වගකීම් හා එකිනෙකා විසින් ඉටුකළ යුතු යුතුකම් හඳුනාගෙන ක්‍රියා කළහොත් මනුෂ්‍යා සන්තානය පමණක් නොව රටත් සමාජයත් මුළු ලෝකයත් අධ්‍යාත්මිකව දියුණුවට පත්වනු ඇත.

මඟ හොඳට තිබේනම්
යන්ට දෑසත් පෙනේ නම්
කිම බැදිවල යන්නේ
මං මුලාවූ වූවන් සේ

හීනටිකුඹුර පුරාණ විහාරවාසී,
ත්‍රිපිටකවේදී දර්ශනපති,
කඩුවෙල පහළ බෝමිරිය,
මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද නිරල්ගම බුද්ධවංස හිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s