අසීමිත සූර්ය ශක්‌තිය අමතක කර බලශක්‌ති අර්බුදයකට අත වනමු ද?

Posted: September 12, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරිය –
වසර මැද පුනර්ජනනීය බලශක්‌ති වාර්තාව

වසර 2016 වන විට ජලය සුළඟ සූර්ය ශක්‌තිය යන පුනර්ජනනීය බල මූලාශ්‍රවලින් උත්පාදනය කරන විදුලියේ ප්‍රමාණය ගෑස්‌වලින් දැනට උත්පාදනය කරන විදුලියේ ප්‍රමාණය අභිබවා යනු ඇති අතර න්‍යෂ්ටික බලයෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ වනු ඇත.

පුනර්ජනනීය මූලාශ්‍රවල පිරිවැය නොකඩවා පහත වැටෙනු ඇති හෙයින් මේ මූලාශ්‍ර ෆොසිල ඉන්ධන අභිබවා ඉදිරියට එනු ඇති අතර එහි ජනප්‍රියත්වය වඩාත් ස්‌ථිර වනු ඇතැයි උක්‌ත වාර්තාව නිව්යෝර්ක්‌ නගරයේ පසුගිය දා පැවැති බලශක්‌ති මුල්‍ය සංසදයට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරිය වන මාරියා වැන්ඩර් හෝවන් සඳහන් කළා ය. වඩාත් පරිසර හිතකාමී වීම සහ විවිධාකාර වීම අවශ්‍ය වී ඇති ගෝලීය බලශක්‌ති පද්ධතියට මෙය සුබ ආරංචියක්‌ වුව ද OECD (ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ) රටවල් සෑහීමට පත් වීම සඳහා වන හේතුවක්‌ ලෙසින් මෙය නො සැලකිය යුතු යෑයි ද ඇය සඳහන් කළා ය.

ආයෝජකයන් ගේ අංක එකේ හතුරා වන්නේ අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිවල ඇති ව්‍යාකූලතාවයි යනුවෙන් අනතුරු ඇඟවූ හෝවන් බොහොමයක්‌ පුනර්ජනනීය මූලාශ්‍ර මුල් කරගත් ව්‍යාපෘති සඳහා දැවැන්ත රාජ්‍ය දිරිගැන්වීම් වර්තමානයෙහි එතරම් අවශ්‍ය නො වන නමුත් නිශ්චිත හා විශ්වාසය තැබිය හැකි වෙළෙඳපොළ සහ සමාජීය ඉලක්‌ක හා ගැලපෙන නියාමන ක්‍රියාරාමු මත සම්පාදනය වුණු දීර්ඝකාලීන රාජ්‍ය ප්‍රතිපත්ති නම් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා ය.

මේ තත්ත්වය ගල් අඟුරු ම`ගින් විදුලිය උත්පාදනය කරන්නන්ට සහන සහ ණය වෙනුවෙන් රජය සහතික වන ශ්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි. සාම්පූර් සඳහා ද

අතැම් වැය අවම කරගැනීම සඳහා මූල්‍ය සහන දීමට මහා භාණ්‌ඩාගාරය එකඟ වී ඇති අතර මේ වැඩි පිරිවැය පාරිභෝගිකයා මත පටවනු නො ලැබේ. නොරොච්චෝලෙයි යාන්තම් ක්‍රියාත්මක වීම ආරම්භ කළ 2011 වසරෙහි එයට ගල් අඟුරු සඳහා ලබා දුන් සහනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.03%ක්‌ දක්‌වා වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

පසුගිය දශක කිහිපයක දී ලොව බිහි වුණු තාක්‍ෂණ ගණනාවකින් ප්‍රයෝජන ගැනීම වරද්දාගත් රටක්‌ හැටියට ශ්‍රී ලංකාව ප්‍රකට ය. තොරතුරු තාක්‍ෂණය හා ජෛව තාක්‍ෂණය මෙලෙසින් අප න`ගින්නට පෙර පිටත් ව ගිය බස්‌ රථවලින් දෙකකි. නව නැනෝ තාක්‍ෂණය ග්‍රහණය කිරීම සඳහා සුළු අවස්‌ථාවක්‌ තවමත් ඉතිරී වී තිබෙන අතර තවත් කදිම අවස්‌ථාවක්‌ අප දෙස ඕනෑකමින් බලා සිටියි. එහෙත් එයින් ප්‍රයෝජන ගන්නට සිතන්නන් නිසි බලධරයන් අතර පෙනෙන්නට නොමැත. මේ අවස්‌ථාව නම් සූර්ය ශක්‌තියෙන් ඵල නෙළා ගැනීමේ අවස්‌ථාවයි. අනාගත බලශක්‌ති ආරක්‍ෂාව පිළිබඳ අභියෝග ගණනාවක්‌ ම ඇති වී තිබෙන වර්තමානයෙහි මෙය නම් අපට කිසිසේත් නො සලකා සිටිය හැකි වාසියක්‌ නො වේ.

අතීතයෙහි ලොව ඇති වූ තාක්‍ෂණ විප්ලවයන් ගෙන් අප රටට ප්‍රයෝජන ගැනීමට නොහැකි වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ නම් රට සංවර්ධනය කිරීම සඳහා විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් ලද හැකි ප්‍රයෝජන ගැනීමේ වැදගත්කම අපගේ දේශපාලනඥයන් සහ පරිපාලකයන් හරිහැටි අවබෝධ කර නො ගැනීම ය. මාරුවෙන් මාරුවට බලයට පැමිණි රජයන් විද්‍යාව සහ තාක්‍ෂණ යන අංශවලට පණපෙවූයේ හිස්‌ වචනවලින් පමණක්‌ වූ හෙයින් ලොව ලොකු කුඩා රටවල් මේ ඉසව්වලින් දැවැන්ත පියවර ගන්නා විට ඒවා ග්‍රහණය කරගැනීමට කිසිදු පෙර සූදානමක්‌ අප සතු ව තිබුණේ නැතිකමින් අපට සිදු වූයේ අප වටා සිදු වෙමින් පැවැති එම ආශ්චර්යවත් විපර්යාස දෙස බකං නිලාගෙන සිටීමට පමණි.

එපමණක්‌ නො ව යම් පමණක විද්‍යා හා ඉංජිනේරු දැනුම ඇති ඇතැම් සදාචාර විරෝධීන් රජයේ මේ අලස ආකල්පයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම පිණිස තීරණ ගන්නා පුටුවල සිටින නිසි බලධරයන් නොම`ග යවමින් ඔවුන් මුළා කරනු දැකිය හැකි ය. මොවුන් රජයට යෝජනා කරන ව්‍යාපෘති නිසා රටට දිගුකාලීන අවාසි ඇති වන තත්ත්වය ගැන ඔවුහු කරදර හෝ කලබල නො වෙති.

සූර්යබල මූලාශ්‍ර සහ ළිං මැඬි ආකල්පය

මිනිස්‌ වර්ගයාට දායාද වී ඇති විශාලතම බල මූලාශ්‍රය වන සූර්යයා ගේ අසීමිත ශක්‌තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ එය වැඩිදියුණු කර ගැනීමට අවාසනාවකට අපට නොහැකි වී තිබෙන්නේ බලශක්‌ති හා එය හා බැඳුණු ඉසව් විෂයයෙහි අප ගේ දේශීය විද්‍යාඥයන්ට සහ රාජ්‍ය පාලකයන්ට නිර්මාණශීලී දැක්‌මක්‌ හෝ දැනුමක්‌ නොමැති වීම නිසා ය. මෙවන් අභාග්‍යසම්පන්න අඩියක අප සිටින්නේ ලොව රටවල් සියල්ල ම පාහේ මේ අංශවලින් උපරිම ඵල නෙළාගනිමින් සිටින අවධියක ය.

සූර්ය ශක්‌තිය ම`ගින් ප්‍රයෝජන ගන්නට සිදු කරන වෑයම් සියල්ලට ම වැටකඩුලු දමමින් සිටීමෙන් ම රටේ වගකිවයුත්තන්ට මේ වැදගත් ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුම විෂයයෙහි ඇති මාන්දම මනාවට පිළිබිඹු වෙයි.

ලංකා විදුලිබල මණ්‌ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ශුද්ධ ගණනය කිරීමේ ක්‍රමවේදයෙන් ප්‍රයෝජන ගනිමින් මේ අනගි තාක්‍ෂණයෙන් රටට ප්‍රයෝජන ලබා දෙන්නට රජයට යෝජනා දෙන්නන්ට එරෙහි ව හා ඔවුන් අදිරිමත් කරන්නට පසුගිය වකවානුවෙහි ලිපි ගණනාවක්‌ ද පත්‍රවල පළ විය. සූර්ය ශක්‌තියට අදාළ උපකරණ සහ එම`ගින් බලශක්‌තිය උත්පාදනය කිරීමට සිදු වන පිරිවැය පිළිබඳව මේ විරුද්ධ මතධාරීන්ට ඇති වැරැදි වැටහීම මේ ලිපිවලින් ඉදිරිපත් කරන ලද තර්කවලින් මනාවට ප්‍රදර්ශනය විය. ජාත්‍යන්තර වෙළෙඳපොළවල දැන් සිල්ලර මිල ගණන්වලට පවා මේ උපකරණ පහසුවෙන් මිල දී ගැනීමේ තත්ත්වයක්‌ උදා වී ඇති බව මොවුන් තවමත් නො දන්නා බවත් එම ලිපිවලින් ප්‍රත්‍යක්‍ෂ විය.

අනවබෝධයෙන් කරනු ලබන මෙවන් අදහස්‌ දැක්‌වීම් නිසා බලශක්‌ති අවශ්‍යතාව සඳහා දේශය නිමක්‌ නොමැති ව ගල් අඟුරුවලට යොමු වීමේ අවදානම ඇති බව මොවුන්ට නො පෙනීම ඇත්තෙන් ම අවාසනාවකි. ගල් අඟුරු දහනය නිසා ආර්ථික ගැටලුවලට අමතරව සෞඛ්‍යමය හා පාරිසරික ප්‍රශ්න ද ඇති වන්නේ ය. එපමණක්‌ නො ව රුපියල් බිලියන ගණන් වැය වන ගල් අඟුරු භාවිතය සාධාරණීකරණය කිරීමේ එක්‌ පියවරක්‌ ලෙසින් අදාළ පාර්ශ්ව පුනර්ජනනීය මූලාශ්‍ර දියුණුවට වැටකඩුලු දැමීමේ අවදානම ද වැඩි වේ. එමෙන් ම කිලෝ වොට්‌ 900ක ධාරිතාවෙන් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක වීම ආරම්භ වනවාත් සමග ම ජලවිදුලි බලාගාර උපරිම ධාරිතාවකින් පවත්වාගෙන යැමට විදුලිබල මණ්‌ඩලයට නොහැකි වනු ඇත. නොරොච්චෝලේ බලාගාර යෝජනාවේ මුල් අවධියෙහි එම`ගින් විදුලිය ඒකකයක්‌ රු. 3.50කට දිය හැකි බවට ප්‍රකාශ කරන ලද නමුත් එය 13.00ක්‌ බවට පත් ව ඇතැයි මණ්‌ඩලය ම පසුව පැවසී ය. මේ අතර සාම්පූර් විදුලියේ පිරිවැය රු. 18.00 යෑයි ඇස්‌තමේන්තු කර තිබිණි. එහෙත් මේ බලාගාර විදුලි උත්පාදනය ආරම්භ කරන විට පිරිවැය අනුව ලාබෙට ගල් අඟුරු විදුලිය යනු මිථ්‍යාවකි.

ගල් අඟුරු මිල, උච්චාවචනය වෙමින් පවතින බොර තෙල් මිල සමග බැඳී ඇති කරුණ ද ශ්‍රී ලංකාවට මිල අතින් කම්පන ගෙන දෙමින් සිටියි. වැඩි වැටහීම සඳහා පහත ප්‍රස්‌තාරයට යොමු වන්න. එහි ගල් අඟුරු මිල විචලනයට සාපේක්‍ෂ ව බොර තෙල්වල විචලනය ද දක්‌වා ඇති අතර 2008 මැද භාගයෙහි වූවා සේ ගල් අඟුරු මිල අධික ලෙස ඉහළ යැමක්‌ නැවතත් ඇති වෙයි නම් හා එය මත වන අප ගේ යෑපීම නොසෑහෙන ලෙස වැඩි හෙයින් එවිට විදුලිය උත්පාදන පිරිවැය දැරිය නොහැකි තරමට වැඩි වීම කිසිසේත් වැළැක්‌විය නොහැකි ය. මේ අතර වැඩි වන එම පිරිවැය අනුව දැනටමත් සුදු අලියකු බවට පත් ව සිටින ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය යෝධ සද්ධන්තයකු වී රටට ඉසිලිය නොහැකි බරක්‌ වනු ඇත.

ඇමෙරිකානු ඩොලර්වලින් සිදු වනු ඇති ගල් අඟුරු ගනුදෙනු අපට තවත් අවාසිදායක වනු ඇති බවට කිසිදු සැකයක්‌ නැත.

ADB, NREL, IFC වැනි ජාත්‍යන්තර සංවිධාන විසින් සිදු කරන ලද අධ්‍යයනවලින් පුනර්ජනනීය බලශක්‌ති මූලාශ්‍ර භාවිත කරමින් විදුලි උත්පාදනය කිරීම සම්බන්ධ ශාක්‍යතා හා ඒවා ප්‍රවර්ධනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව සනාථ කරගත් කරුණු සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය විසින් මනා ලෙස ගොනු කරනු ලැබ ඇත.

මහින්ද චින්තනයේ අනාගත දැක්‌ම යෝජනාවලිය ම`ගින් 20%ක පුනර්ජනනීය බලශක්‌ති ඉලක්‌කය අනුව 2020 වසර වන විට පුනර්ජනනීය මූලාශ්‍රවලින් මෙගාවොට්‌ 2222ක විදුලිය උත්පාදනය කිරීමට අපේක්‍ෂා කර ඇත. මේ ඉලක්‌කය අත් කරගැනීම සඳහා පහත සඳහන් පුනර්ජනනීය මූලාශ්‍ර සංකලනය කළ යුතු යෑයි සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය යෝජනා කර ඇත


මේ යෝජනාව ක්‍රියාවට නැංවීමේ දී උක්‌ත මූලාශ්‍ර විෂයයෙහි නිතර පළ කරනු ලබන බියක්‌ වන එහි අස්‌ථාවර බව ගැන මනා අධ්‍යයනයක්‌ සිදු කළ යුතු ය. ප්‍රාරම්භක වශයෙන් ෆොසිල ඉන්ධන මුල් කරගත් අන් විදුලිය උත්පාදන සේ ම ස්‌ථිර හා ප්‍රවාහනය කළ හැකි මූලාශ්‍රයක්‌ වන ජෛව ස්‌කන්ධයේ දායකත්වය වැඩි කිරීමට සැලසුම් කිරීම කාලෝචිත වනු ඇත. ඒ අතරතුර ම දැනට ලොව පුරා සිදු කරනු ලබන්නාක්‌ මෙන් සුළඟ සහ සූර්ය ශක්‌තිය කෙසේ පරිහරණය කළ යුතු ද යන්න ගැනත් විදුලිබල මණ්‌ඩලය අධ්‍යයනය කළ යුතු ය.

එසේ වුව ද ලංකා විදුලිබල මණ්‌ඩලය, බලශක්‌ති අමාත්‍යංශය වැනි මූලික ආයතනවලට මේ විෂයයෙහි එතරම් අභිරුචියක්‌ නොමැති තත්ත්වය නිසා මෙන්ම දැන හෝ නො දැන මේ අන්තයෙන් දායක වන්නට සූදානමක්‌ පෙන්වන පෞද්ගලික අංශයේ ප්‍රවර්ධකයන්ට දමන බාධක වැටකඩුලු නිසා පෙර කී අවස්‌ථා ශීඝ්‍රයෙන් අප ග්‍රහණයෙන් ඈත් වෙමින් ම පවතියි. කෙටියෙන් කීවොත් වත්මන ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය සතු සැලසුම්වල සැලකිය යුතු ඉඩක්‌ පුනර්ජනනීය මූලාශ්‍ර සඳහා වෙන් කර නොමැති බව පැහැදිලි ය. එපමණක්‌ නො ව, පෞද්ගලික අංශයෙන් ජාතික විදුලි ජාලයට ලබා දෙන දායකත්වයන්ට, සුළඟ සඳහා මෙගා වොට්‌ 220ක්‌ සහ සූර්ය ශක්‌තිය සඳහා මෙගා වොට්‌ 80ක්‌ ලෙසින් පනවා ඇති සීමා බෙහෙවින් ම අත්තනෝමතික ය. ලංකාවේ තත්ත්වය මෙසේ වුව ද ලොව අන් රටවල් බොහොමයක ඔවුන් ගේ ජාතික ජාල සඳහා මේ තාක්‍ෂණවලින් මෙයටත් වැඩි සැලකිය යුතු දායකත්ව ලබාගැනීමට නිර්මාණශීලී සැලසුම් හරහා විවිධ මං හඳුන්වා දී ඇත.

මේ අනුව මේ මනෝමූල ජවනිකාව (sජැබ්රසද) අපට බල කර සිටින්නේ තවත් කල් නො මරා තෙල් හෝ ගල් අඟුරු මත නො යෑපුණු බලශක්‌ති ප්‍රභවයන් සඳහා අන්තර්කාලීන ක්‍රමෝපායක්‌ සම්පාදනය කළ යුතු ය යන්නයි. අප ගේ බලශක්‌ති අවශ්‍යතාවන් සඳහා මිල මෙන්ම සැපයුම් සහතික අතින් ද අප ගේ පාලන ඉසව්වෙන් ඔබ්බෙහි ඇති මූලාශ්‍රවල ම දිගින් දිගට ම රැඳී සිටීමේ සහ එම`ගින් අනාගත පරපුරේ බලශක්‌ති ආරක්‍ෂාව උකස්‌ කිරීමේ මෙන්ම දේශයේ ආර්ථික අභිවෘද්ධිය බිල්ලට දීමේ අනුවණකම වටහාගැනීමට අප සැවොම අයින්සටයින්වරුන් වීම කිසිසේත් අවශ්‍ය නො වේ.

ඉහත සඳහන් කර ඇති එවන් අන්තර්කාලීන ගැලවුම් මඟක්‌ අප ගේ හිසට මත්තෙන් සැම දා බැබළෙන සූර්යයා අපට ලබා දෙන්නට සූදානමින් සිටියි. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන කැමැත්ත පමණි.

වෘක්‍ෂලතා – අත්‍යන්ත සූර්ය ශක්‌ති පද්ධතිය

සූර්ය ශක්‌තිය ග්‍රහණය කිරීමේ හොඳ ම විකල්පය වන්නේ වෘක්‍ෂලතා ජෛව ස්‌කන්ධයයි. මෙය පුනර්ජනනීය වන අතර ම දේශීය මූලාශ්‍රයකි. එමෙන් ම මෙම`ගින් ලද හැකි අතුරු ඵල ද බොහොමයකිs. තව ද සූර්ය ශක්‌තිය ගබඩා කර තැබීමේ හැකියාව ද වෘක්‍ෂලතාවලට ඇති නිසා සූර්ය ශක්‌තිය අස්‌ථිර යෑයි නැවත නැවත න`ගනු ලබන කංකෙඳිරියට ද ප්‍රමාණවත් සාධක සහිත උත්තරයකි. සූර්ය ශක්‌තිය ප්‍රමාණවත් ලෙසින් අප රට ආශීර්වාද කරනු ලැබ තිබෙනවා පමණක්‌ නො ව එය ශාකවල රඳවාගැනීමේ පහසුකමින් ද අප අනූන ය. එමෙන් ම ජෛව ස්‌කන්ධය බලශක්‌තියක්‌ ලෙසින් භාවිත කළ නොහැකි යෑයි ඉදිරිපත් කරනු ලබන තර්කය ද නිෂ්ක්‍රීය කරන ඔප්පු කරන ලද ක්‍රමෝපා ද අප සතු ය.

එනමුත් අප ගේ අත්ලේ ම තිබෙන දෙයෙහි අගය නො පෙනෙන ඇඳිරියක්‌ ශ්‍රී ලාංකික අපට ජන්මයෙන් ම හිමි නිසා දෝ අප සිරිත් පරිදි කරමින් සිටින්නේ ජැටියට ගොස්‌ බොර තෙල් සහ ගල් අඟුරු නැව් එන තෙක්‌ ඇස්‌ අයා බලා සිටීම ය. මේ සඳහා දැවැන්ත මුදල් කන්දරා දිනපතා අප වැය කරමින් සිටින නිසා ගැඹුර නො පෙනෙන ආර්ථික වළකට අපි වැටෙමින් සිටින්නෙමු. පරිසර හා සෞඛ්‍ය හානි අපට ලැබෙන තවත් අතුරු ආපදා ය.

ජෛව ස්‌කන්ධ මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීමෙහි ලා අපට අසීරුතා කිහිපයකට මුහුණ දෙන්නට සිදු වූ බව පසුගිය දශක කිහිපයක අත්දැකීමෙන් පෙනී ගියේ ය. විශේෂයෙන් සුනිත්‍ය ව රෝපණය කරන ලද ශාක විශේෂ බලශක්‌ති බලධරයන්ට පීඩනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් ව නිෂ්පාදනය කිරීමෙහි ලා අප මුහුණ දුන් අසීරුතා, අනාගතයෙහි වැඩි වනු ඇත.

වහළ මත සවිකරන සූර්ය ශක්‌ති පද්ධති දැන් පහසු මිල ගණන්වලට ඇත.

ගත වූ වසර කිහිපය තුළ සූර්ය ශක්‌ති පද්ධතිවල මිල ගණන් සෑහෙන පමණ අඩු වී ඇති අතර එය දැන් බොහෝ දෙනකුට දරාගත හැකි තරමට පහළ බැස තිබේ. ඉහත වගුවෙන් මෙය පැහැදිලි කර ඇත

මූලික වශයෙන් කළ යුත්තේ ගෘහස්‌ත මෙන්ම අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් විදුලිය වැඩියෙන් පරිභෝජනය කරන්නන්, අර්ධ වශයෙන් හෝ ඔවුන්ට අවශ්‍ය විදුලිය සූර්ය ශක්‌ති පද්ධති භාවිත කරමින් උත්පාදනය කර ගන්නට උනන්දු කිරීම ය. ජාතික ජාලයෙන් සහන මිලට විදුලිය ලබා ගන්නා කර්මාන්ශාලාවලට මෙම`ගින් වාසියක්‌ නොමැත. මේ අන්තයෙන් සූර්ය ශක්‌තියෙන් මෙගා වොට්‌ 20,000ක්‌ උත්පාදනය කිරීමේ ඉලක්‌කය සහිත ව ක්‍රියා කරමින් සිටින අසල්වැසි ඉන්දියාවෙන් අපට ආදර්ශ ගත හැකි ය. එහි දැනටමත් කිලෝ වොට්‌ එකක්‌ සඳහා ඉන්දීය රුපියල් 145,000ක පිරිවැයකින් විදුලිය උත්පාදනය කරන අතර මෙයට බැටරියේ මිලත් ඇතුළත් වෙයි. (මෙය කි.වො/පැයකට ඇ.ඩො 2.05කි). එපමණක්‌ නො ව ඉන්දීය රුපියල් 5.30ක පිරිවැයක්‌ සහිතව සූර්ය ශක්‌තිය ම`ගින් මෙගා වොට්‌ 1000ක්‌ උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්‌ ධභඨC ආයතනය ප්‍රකාශයට පත් කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා (ඉන්දීය) රුපියල් කෝටි 5000ක්‌ වැය කිරීමට ඉන්දියාවේ ධභඨC අපේක්‍ෂා කරන බව නව හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයේ සහකාර ලේකම් තරුන් කපූර් බිස්‌නස්‌ ලයින් සඟරාව සමග පැවති සාකච්ඡාවක දී කියා තිබිණි. පුනර්ජනනීය බලශක්‌ති සහතික නිකුත් කිරීමද, විදුලිය මිල දී ගන්නා මිල නියම කිරීම හා මෙගා වොට්‌ 1000 ක්‌ විදුලිය උත්පාදනය කළ හැකි නව සූර්ය ශක්‌ති බලාගාරයක්‌ ඉදි කිරීම සඳහා සුදුසු පරිශ්‍රයක්‌ ආදිය පිළිබඳ දැනටමත් තම සමාගම කර්නාටක ප්‍රාන්ත රජය සමග සාකච්ඡා පවත්වන්නේ යෑයි ද කපූර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ නිෂ්පාදන උසස්‌ ප්‍රමිතියෙන් යුතු වන අතර මෙයට සහන අවශ්‍ය නො වේ. ශ්‍රී ලංකාවේ නොපමාව කළ යුතු වෙනසක්‌ සඳහා වන විභවතාවකට අධ්‍යයනයකින් පසුව ලබා ගත් දත්ත ඉහත වගුවෙන් පෙන්වා ඇත( වගුව 01

ගි.වො පැය 1846ක්‌ පරිභෝජනය කරන හෙවත් මසකට ඒකක 90ට වඩා විදුලිය පරිභෝජනය කරන්නන් ශ්‍රී ලංකාෙවි සිටින අතර ඔවුන් තෙමේ ම විදුලිය උත්පාදනය කරගන්නන් බවට පත් කරගැනීමේ ශක්‍යතාව බෙහෙවින් ම ඇත. මෙම`ගින් සීමිත බැටරි ධාරිතාවකින් උච්ච හෝරාවේ පරිභෝජන පීඩනය අඩු කරගැනීමට මේ කොටසට දායක විය හැකි ය. මේ පාරිභෝගික කණ්‌ඩායමේ 30%ක පරිභෝජනය සිදු වන්නේ උච්ච් හෝරාවේ පැය තුනක කාලය ඇතුළත ය යන මතයේ පිහිටා ඇගයීමක්‌ සිදු කළ විට මේ ඉල්ලුම උත්පාදන ධාරිතාවයෙන් මෙගා වොට්‌ 500ක්‌ පරිභෝජනය කරනු ඇත.

අප රටේ දෛනික උච්ච විදුලිය ඉල්ලුම මෙගා වොට්‌ 2000ක්‌ ලෙසින් හා දෛනික සාමාන්‍ය ඉල්ලුම මෙගාවොට්‌ 1400ක්‌ ව පවතින වත්මන් තත්ත්වය තුළ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට්‌ 900 උත්පාදනය ද ඇතුළත් ව අපට ලැබෙනු ඇති මෙගා වොට්‌ 4000ක සැපයුම යනු අතිරික්‌තයක්‌ සහිත සැපයුමක්‌ වනු ඇත. එසේ වන විට රටේ ඉදි වී ඇති හා ඉදි වෙමින් පවතින දැවැන්ත ගල් අඟුරු බලාගාර නො නවත්වා වසර පුරා ක්‍රියාත්මක කරගෙන යැම උභතෝකෝටික ප්‍රශ්නයක්‌ වනු ඇත. ඒ අතර ම නිරන්තරයෙන් ම වැඩි වෙමින් පවතින විදුලිය මිල නිසා උනන්දු කරනු ලැබ යෝජනා වෙමින් පවතින දේශීය හා සූර්ය ශක්‌තිය සුළඟ වැනි ස්‌වාභාවික හා අඩු පිරිවැයෙන් යුත් පුනර්ජනනීය මූලාශ්‍ර ම`ගින් පෞද්ගලික අංශය මෙන්ම තනි පුද්ගලයන් විසින් ද යම් ප්‍රමාණයක විදුලියක්‌ උත්පාදනය කරගැනීමේ දීප ව්‍යාප්ත ප්‍රවණතාවක්‌ ඉදිරියට ඇති වුව හොත් මේ ප්‍රශ්නය තවත් බැරෑරුම් වනු නිසැක ය.

මේ තත්ත්වය නිසි බලධරයන් මැනැවින් අවබෝධ කරගෙන ඇත්තේ නම් දැනටමත් ඩොලර් මිලියන 500කට වඩා වැය වනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇති සාම්පූර් ව්‍යාපෘතිය නවතා දැමීමට හෝ යටත් පිරිසෙයින් – විදුලිය වැඩියෙන් පරිභෝජනය කරන්නන්ට නිවෙස්‌ වහළවල හා ගොඩනැ`ගිලි මුදුනේ සූර්ය ශක්‌ති පද්ධති සවි කිරීම ම`ගින් ස්‌වයං විදුලිය උත්පාදනය කිරීම උනන්දු කරමින් හා එම`ගින් ඔවුන් ගේ උච්ච හෝරා අවශ්‍යතාවන් සමනය කර ගන්නට ඔවුන් ෙච්තනාරූඪ කරමින් එම ව්‍යාපෘතියෙහි යම් අවරෝහණ වෙනස්‌කම් ඇති කිරීමට පියවර ගනු ඇත.

මේ නවීන තාක්‍ෂණ සඳහා තනි පුද්ගලයන් වැය කරන මුදල ඔවුන් එම`ගින් ලබන අඩු පිරිවැය විදුලිය නිසා වසර 5කටත් අඩු කාලයකින් පියවා ගන්නට ඔවුන්ට හැකි වන බව හා එයින් පසු වසර 20ක්‌ පමණ ආයු කාල ඇති උසස්‌ ප්‍රමිතියෙන් යුත් පද්ධති දැන් සහන මිලට වෙළෙඳපළෙහි ඇති බැවින් එයින් පසු ඔවුන් විදුලිය සඳහා වැය කළ යුතු වන්නේ දැනට ඔවුන් මණ්‌ඩලයේ විදුලියට ගෙවන මිලට සාපේක්‍ෂව ඉතා සුළු මිලක්‌ බව ද ඔවුන්ට පැහැදිලි කළ යුතු ය.

මේ කරුණු සියල්ල සැලකිල්ලට ගන්නා කල ආන්දෝලනයට තුඩු දී ඇති සාම්පූර් විදුලියේ අවශ්‍යතාවෙන් බැහැර කළ යුතු පාරිභෝගිකයන් ගේ සංඛ්‍යාව වනු ඇත්තේ විභවතාව ඇති 997000න් 500,000කි. මෙයින් අහම්බෙන් මෙන් 483,000ක්‌ ඉහත වගුවේ වැඩි ම සංඛ්‍යා දෙකෙහි එකතුවට බෙහෙවින් ම සමාන වෙයි. ඕස්‌ටේ්‍රලියාවේ දැනටමත් සූර්ය ශක්‌ති පද්ධති ලක්‍ෂ 25ක්‌ තිබෙන අතර එක්‌සත් ජනපදයේ සැම මිනිත්තු 4කට එක්‌ අලුත් පද්ධතියක්‌ සවි කරනු ලබන තත්ත්වයන් සැලකිල්ලට ගන්නා කල මෙය අසීරු ඉලක්‌කයක්‌ නො වේ යෑයි නිර්භය ව ම කිව හැකි ය.

සූර්ය ශක්‌තිය සඳහා වැය වන විදේශ විනිමය

සූර්ය ශක්‌ති පද්ධති සඳහා වැය කළ යුතු විදේශ විනිමය ප්‍රමාණය ලංකාව වැනි රටකට දරා ගත නොහැකි තරමට ඉතා අධික යෑයි කියමින් ඔය කියන තරමට දෙවඟන ලස්‌සන නැතැයි ඇතැම්හු තර්ක කරති. මේ තර්ක සියල්ල මොවුන් ඉදිරිපත් කරන්නේ පුළුල් වෙළෙඳපළක්‌ තවමත් නිර්මාණය වී නොමැති සූර්ය ශක්‌ති පද්ධති ඉසව්ව වෙනුවෙන් අතළොස්‌සක්‌ සමාගම් සිය පද්ධති සඳහා ප්‍රකාශයට පත් කර ඇති අධික මිල පදනම් කරගනිමිනි. මේ මිල ගණන්, ඇත්ත තත්ත්වය පිළිබිඹු නො කරන බව මේ විෂය පිළිබඳ නිසි දැක්‌මක්‌ නොමැති ව තර්ක ඉදිරිපත් කරන්නන් පළමුවෙන් වටහාගත යුතු ව ඇත. මහා පරිමාණයෙන් ආනයනය කරනු ලබන කල තරගකාරී වෙළෙඳපළක මේ පද්ධතිවල මිල විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. කැමැති අයට අඅඅගඩරපැබැරටහගජදප වෙත ප්‍රවේශ වී අන්තර්ජලයෙහි ඇති මේ මිල ගණන්වල නියම තත්ත්වය වටහාගත හැකි ය.

ජෛව ස්‌කන්ධය වැනි ඉතා මිල, අඩු දේශීය, පුනර්ජනනීය මූලාශ්‍ර හා සාපේක්‍ෂව ගත් කල සූර්ය ශක්‌ති පද්ධති සඳහා වැඩි මුදලක්‌ වැය කරන්නට වන බව ඇත්තක්‌ නමුත් බලධාරීන් සියලු විශ්වාසය තබා ඇති ගල් අඟුරු බලාගාර සිසාරා ඇති, අප ගේ පාලන ඉසව්වෙන් එහා තිබෙන අනෙකුත් කාරණා බොහොමයක්‌ සැලකිල්ලට ගන්නා කල අපට ඇති අනෙකුත් විකල්ප අතුරින් සූර්ය ශක්‌තියට සැලකිය යුතු තැනක්‌ හිමි වනු බව කා හටත් පෙනී යනු ඇත. විශේෂයෙන් ආනයනික ඉන්ධන මිල ගණන්වල වැඩි වීම පිළිබඳව කරන අධ්‍යයනයක්‌ අනුව ගල් අඟුරු මිල පසුගිය වසර 20ක කාලය තුළ වාර්ෂික ව 11%කින් වැඩි වෙමින් පැවති බව පෙනී යයි. එමෙන් ම ආනයනික ඉන්ධන මුල් කරගත් බලාගාරවල යන්ත්‍රොපකරණවලට අවශ්‍ය අමතර කොටස්‌ සඳහා ද පිටරටට මුදල් යෑවීමට අපට සිදු වන අතර මේ වියදම සහ මේ දැවැන්ත බලාගාර සමග සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීමේ දී සිදු වන වැය ද ඇතුළත් කර ගණන් බලන විට මේ බලාගාරවල පිරිවැය එම ව්‍යාපෘති ආරම්භ කරන විට එහි ඇදුරන් ප්‍රකාශයට පත් කළ පිරිවැයට වඩා බෙහෙවින් ම ඉහළ බව ද පෙනී යනු ඇත.

එහෙත් බලාගාර හා දෙබිඩි දරුවන් මෙන් වෙන් කළ නොහැකි ලෙසින් බැඳී ඇති මේ සැඟවුණු වියදම් ගැන මහජනයා කවදත් තබනු ලබන්නේ අඳුරෙහි ම ය. මෙනිසා දේශීය හා පුනර්ජනනීය මූලාශ්‍රවලින් විදුලි උත්පාදනය කිරීමට සිදු වන වැය හා බලාගාර විදුලයේ මිල සංසන්දනය කිරීම් කළ යුත්තේ මෙවන් දැවැන්ත ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම්, ඒවා සඳහා වන පොලී ගෙවීම්, සම්ප්‍රේෂණයෙහි දී ගිලිහී යන විදුලිය ප්‍රමාණය ඇතුළු අනෙකුත් සියලු වැය හා අපතේ යැම් ආදිය එක්‌ කිරීමෙන් පසු ව ය. තව ද සූර්ය ශක්‌ති පද්ධති පිළිබඳව මහජනයා අතර ප්‍රාරම්භයෙහි සිදු කළ යුතු දැනුවත් කිරීම් හා දිරි දීම් හැරෙන්නට මේ සඳහා මූල්‍යමය වශයෙන් සැලකිය යුතු මැදිහත් වීමක්‌ රජය සිදු කිරීම අවශ්‍ය නො වීම ද මෙයින් රටට ඇති තවත් වාසියකි. මේ කිසිවක්‌ සැලකිල්ලට නො ගෙන තොරතෝංචියක්‌ නොමැති ව ගල් අඟුරු බලාගාරවල ගුණ වැයීමෙන් සිදු වනු ඇත්තේ මේ අන්තයෙන් රටට වැඩදායී යෝජනා ඉදිරිපත් කරමින් හඬ න`ගමින් සිටින දේශප්‍රේමී විද්වතුන් අද නැතිනම් හෙට කලකිරීමට හා වෙහෙසට පත් වී නිහඬ වීමයි. එම`ගින් බලශක්‌ති අවශ්‍යතාව ඉසව්වෙන් මහින්ද චින්තනයේ ඉලක්‌ක අත් කර ගැනීම ද සිහිනයක්‌ පමණක්‌ වනු ඇත. අපට වඩා සූර්ය ආලෝකය අඩුවෙන් ලබන ශීත දේශගුණයේ පිහිටි ජර්මනිය වැනි යුරෝපීය රටවල් ඔවුන්ට ඇති අල්ප මාත්‍ර හිරු අව්වෙන් ලබන ප්‍රයෝජන මේ අතරින් අපට පාඩම් ගත හැකි සංසිද්ධීන්ය .

ලියවිලිවලට හා අංකවලට පමණක්‌ අප ගේ තර්ක විතර්ක සීමා නො කර ප්‍රායෝගිකව සිතමින් නිවැරැදි දැක්‌මක්‌ අප ඇති කරගත හොත් මේ අන්තයෙන් අප ලද හැකි ප්‍රයේජන බොහෝ ඇත. නොබෝ කලකින් සූර්ය ශක්‌ති පද්ධති ඉතා සහනදායී මිලකට දේශීය ව නිෂ්පාදන කිරීමට හෝ යටත් පිරිසෙයින් එකලස්‌ කිරීමට හෝ අපට හැකි වනු ඇත. කවදත් නිර්මාණශීලී ව කල්පනා කරන ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් සහ වෙළෙඳ ප්‍රජාව මේ අන්තයෙන් ඉතා ලාභදායි පියවර ඉදිරියේ දී තබනු ඇතැයි ද අපට විශ්වාසය තැබිය හැකි ය. මේ සඳහා සහන ලබා දීමට ඕස්‌ටේ්‍රලියාව, ජර්මනිය වැනි රටවල් ක්‍රියා කළ ද ශ්‍රී ලංකාවට එවැනි පියවර අවශ්‍ය වන්නේ නැත. රජයෙන් ලබා දිය යුතු සහයෝගය නම් රේගු බදු ඇතුළු බදු පැනවීම් අඩු කරන අතර ම අනෙකුත් සැඟවුණු බාධක ඉවත් කර ගැනීම ය.

(ඉංජිනෙරු)
පරාක්‍රම ජයසිංහ
parajayasinghe@gmail.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s