බුදුන් වහන්සේ වැඩ විසූ කාලය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක අලුත් වෙයි

Posted: September 12, 2014 in සරණක් සොයා ෴

දෙ දහස්‌ හය සිය වසරකට පමණ පෙර කාලයක පැරැණි දඹදිව ජනිත වූ බුදුන් වහන්සේ දෙසූ දහම අද වන විට ලෝකයේ ප්‍රධානතම දර්ශනයක්‌ හා ආගමක්‌ බවට පත aව තිබේ. මේ වන විට ලෝකය පුරා මිලියන 500කට අධික බොදුනුවන් පිරිසක්‌ වාසය කරන අතර එය ලෝකයේ සංවිධානාත්මක ආගම් අතර පැරැණිතම ආගමක්‌ ද වේ.

බුදුදහම ලොවට දායාද කළ බුදුන් වහන්සේ වැඩ විසූ කාලය මෙන්ම උන්වහන්සේ පිළිබඳව ද වැඩි වශයෙන් ඇත්තේ ලේඛනගත සාක්‌ෂි වේ. උන්වහන්සේ මෙන්ම බුදුදහම හා සම්බන්ධ වන ස්‌ථාන පිළිබඳව ද පවත්නා පුරාවිද්‍යාත්මක සාධක බොහොමයක්‌ ලැබෙන්නේ අශෝක අධිරාජයා ගේ පාලන සමය හෙවත් ක්‍රි.පූ. 3 වැනි සියවස පමණ සිට ය. බුදුන් වහන්සේ වාසය කළ බවට සමකාලීන පුරාවිද්‍යාත්මක සාධක අඩු වීම උන්වහන්සේ විසූ කාලය සම්බන්ධව විවිධ ශාස්‌ත්‍රීය මත පළ වීමට ද හේතු වී තිබේ. (මේ පිළිබඳව කෙටි විස්‌තරයක්‌ පහත සඳහන් වේ). මේ නිසා බුදුන් වහන්සේ විසූ කාලය හා ඒ හා සම්බන්ධ සමකාලීන සාධක ගවේෂණය සම්බන්ධව පුරාවිද්‍යාඥයන් ගේ අවධානය යොමු ව ඇත්තේ කලක පටන් ය.

මේ පිළිබඳව සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණයක වාර්තාවක්‌ පසුගිය දා Antiquity නම් පුරාවිද්‍යා සඟරාවේ පළ විය. ඊට ජාත්‍යන්තර මාධ්‍යවලින් ලැබුණු අවධානයෙන්, පර්යේෂණයක්‌ ලෙස එහි ඇති වැදගත්කම හා බෞද්ධාගමිකයන්ට එහි ඇති සුවිශේෂී බව ද පැහැදිලිව පෙනිණි.

ලුම්බිණියේ කැණීම්

මේ පර්යේෂණය සඳහා පදනම් වූයේ බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපන් ස්‌ථානය වන ලුම්බිණියේ සිදු කරන ලද කැණීමකි. සිද්ධාර්ථ කුමාරයා ගේ මව වූ මහාමායා දේවියට දරු ප්‍රසූතිය සිදු වූයේ ඇය වාසය කළ කපිලවස්‌තු නගරයේ (කිඹුල්වත් පුරය) සිට ස්‌වකීය මාපියන් විසූ දෙව්දහ නුවර වෙත ගමන් කරන අතර දී, මේ දෙනුවර අතර පිහිටි ලුම්බිණි නම් සල් උයනේ පිහිටා ඇති සල් වෘක්‌ෂයක්‌ සමීපයේ දී ය.

වර්තමාන ඉන්දියානු දේශ සීමාවට ආසන්න ව නේපාලයේ පිහිටා ඇති ප්‍රදේශයක්‌ ලුම්බිණිය ලෙස හඳුනාගෙන තිබේ. 1896 වර්ෂයේ දී පමණ එය නිසැකව හඳුනාගන්නා ලද්දේ, එහි පිහිටා තිබුණු අශෝක ස්‌ථම්භයේ සඳහන් ශිලාලේඛනය හේතුවෙනි. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දී අශෝක අධිරාජයා මේ ස්‌ථානය වන්දනා කිරීමට පැමිණි බව එහි සඳහන් වේ. (මෙවැනි අශෝක ස්‌ථම්භ රැසක්‌ බුදුන් වහන්සේ හා සම්බන්ධ ස්‌ථානවල පිහිටුවා තිබේ). එසේ ම ඉතිහාසය පුරා තවත් බොහෝ බෞද්ධ වන්දනාකරුවන් ලුම්බිණියට පැමිණි බවට වාර්තා තිබේ. නැවත හඳුනාගැනීමෙන් පසුව අද වන විට ලුම්බිණිය ලෝකවාසී බොදුනුවන් ගේ ඉමහත් වන්දනාවට ලක්‌ ව ඇති හා සංචාරක ආකර්ෂණයට ලක්‌ ව ඇති ස්‌ථානයකි. එහි විවිධ කාල වකවානුවලට අයත් ඉදිකිරීම් රැසක්‌ දැකගත හැකි ය.

ලුම්බිණියේ පිහිටා ඇති මායාදේවී විහාරයේ පෙර කී පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කර ඇත්තේ රටවල් ගණනාවක පුරාවිද්‍යාඥයන් ගෙන් සමන්විත කණ්‌ඩායමකි. ඔවුන් පසුගිය වසර තුනක පමණ කාලයේ දී වසරකට සති කිහිපයක කාලයක්‌ තිස්‌සේ අදාළ ස්‌ථානයේ කැණීම් සිදු කර තිබේ.

මේ කැණීම්වල දී අදාළ ස්‌ථානයේ දැකිය හැකි අශෝක අධිරාජයා ගේ කාලයට අයත් ඉදිකිරීම්වලට පහළින් පිහිටා ඇති තරමක්‌ අක්‍රමවත් පැරැණි ගඩොල් ඉදිකිරීමක ශේෂ ඔවුන්ට හමු වී ඇත. මේ ගඩොල් ප්‍රමාණයෙන් වඩා විශාල ඒවා වීම විශේෂයක්‌ සේ සඳහන් කර ඇත.

මේ ගඩොල් ඉදිකිරීම්වලට පහළින් ම ඔවුන්ට හමු වී ඇත්තේ කහ මැටිවලින් සමන්විත ස්‌ථරයකි. එහි ඔවුන්ට දැකිය හැකි වූයේ කණු සිටුවූ සිදුරු (posthole) හයක්‌ තිබූ බවට සලකුණු ය. මේ සිදුරුවලින් දැවී ගිය අඟුරු කැබැලි ද හමු වී තිබේ.

මේ සොයාගැනීම් අනුව අදාළ ස්‌ථානයේ පළමුව කිසියම් දැවමය වැටක්‌ වැනි ඉදිකිරීමක්‌ තිබූ බව පැහැදිලි වන බව පර්යේෂකයන්ගේ අදහසයි. එය, මධ්‍යයේ පිහිටා තිබුණු කිසියම් අවකාශයක්‌ වටා ඉදි කරන ලද්දකි. එමෙන් ම පසුකාලීනව ඒ මත සිදු කරන ලද ගඩොල් ඉදිකිරීම් ද මධ්‍යගත ව්‍යුහයක්‌ වටා ඉදි කර තිබූ අතර එය ඉහළින් විවෘත ව (වහළක්‌ නොමැති ව) තිබූ බවට සාධක ලැබී ඇත. මේ අවට පසේ දැකිය හැකි වූ තරංගාකාර හෝ රැලි සහිත (s(sinuous) රටාව ම`ගින් පෙනී ගොස්‌ ඇත්තේ ගසක මුල් එහි පස හරහා ගමන් කර ඇති බවට සාධකයි. ඒ අනුව කිසියම් වෘක්‌ෂයක්‌ මැදි කරගෙන, ක්‍රි.පූ. 6 වැනි සියවසේ දී පමණ ඉදි කරන ලද බෝධිඝරයක්‌ වැනි පූජනීය ස්‌ථානයක්‌ පිළිබඳ සාධක ලැබුණු බව පර්යේෂකයන් ගේ අදහසයි. බෞද්ධ පූජනීය ස්‌ථාන ඉදි කිරීමේ රටාවේ මුල් කාලයේ දී දැව වැනි කල් නො පවත්නා ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සාධක ද මෙම`ගින් ලැබී තිබේ.

කාලනිර්ණයේ ඇති වැදගත්කම

මේ කැණීම්වල දී හමු වූ අඟුරු විකිරණශීලී කාබන් කාලනිර්ණ ක්‍රමවේදයෙන් කාලනිර්ණය කර ඇති අතර වැලි කණිකා තාපසංදීප්තතා කාලනිර්ණයට (optically stimulated luminescence) ලක්‌ කර ඇත. මෙහි දී දැව කණු සිදුරුවල ඇතුළත් ද්‍රව්‍ය කාලනිර්ණයෙන් ලැබී ඇති දින වකවානු දෙකක්‌ ක්‍රි.පූ. 799-546 හා 801-548 කාලයට අයත් බව හෙළි වී තිබේ. ක්‍රි.පූ. 6 වැනි සියවසට අයත් දින වකවානු පිළිබඳ සාධක ලැබීම වැදගත් සිදුවීමකි. බුදුන් වහන්සේ විසූ කාලය පිළිබඳව ලැබුණු පළමු පුරාවිද්‍යාත්මක සාධක ද මේ දින වකවානු වේ.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් මුලින් ම වගා කරන ලද ප්‍රදේශයක්‌ වූ එකී ස්‌ථානයේ බෞද්ධ පූජනීය ස්‌ථානයක්‌ පිහිටුවා ඇත්තේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ දී පමණ වීම සුවිශේෂී ය. මේ අනුව ලුම්බිණියේ පැරැණි ම ඉදිකිරීම වන මෙය ලෝකයේ වඩාත් ම පැරැණි බෞද්ධ පූජනීය ස්‌ථානයේ ඉදි කිරීම ද වේ.

බුදුන් විසූ දිනය පිළිබඳ මත

අප ඉහත සඳහන් කළ ආකාරයට බුදුන් වහන්සේ පැරැණි දඹදිව විසූ කාලය පිළිබඳ ශාස්‌ත්‍රීය වශයෙන් විවිධ අදහස්‌ පවතී. මීට හේතුව වන්නේ විවිධ ලේඛන ආශ්‍රයෙන් සිදු කර ඇති විශ්ලේෂණ ම`ගින් බුද්ධ පරිනිර්වාණය සඳහා විවිධ දින වකවානු යෝජනා කර තිබීම ය. මේ දින වකවානුවල කාලය අනුව දිගු, මධ්‍ය හා කෙටි යනුවෙන් තුන් ආකාරයකට පුළුල් ලෙස වර්ග කළ හැකි ය. සමස්‌තයක්‌ ලෙස ගත හොත් බුදුන් වහන්සේ ගේ පරිනිsර්වාණය සඳහා ක්‍රි.පූ. 9 වැනි සියවස හා 4 වැනි සියවස අතර කාලයකට දින නියම කර ඇත.

ක්‍රි.පූ. 543 දී බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව ථෙරවාදී බුදුසමයේ සාම්ප්‍රදායික පිළිගැනීම වේ. (මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාව හා සම්බන්ධ වන්නේ විජයාවතරණය මෙදින සිදු වූ සේ අපේ වංසකතාවල සඳහන් වන නිසා ය). කෙසේ වෙතත්, ඉතිහාසඥයන් සමහරකු මේ සඳහා ලබා දී ඇති දිනය වන්නේ ක්‍ර්‍රs.පූ. 483 ය. ඉහත දින වකවානු දෙක ම සැලකෙන්නේ දිගු කාලානුක්‍රමය (long chronology) යනුවෙනි. එසේ ම ඈත පෙරදිග රටවල් සමහරක බුදුන් වහන්සේ විසූ කාලය ක්‍රි.පූ. 9 වැනි සියවසේ පමණ ඈතට යන බවට සිදු කරන ගණනය කිරීම් දැකිය හැකි බව ද සඳහන් කළ යුතු ය.

බුදුන් වහන්සේ මීට වඩා මෑත කාලයක දී විසූ බව පෙන්වා දෙන දින වකවානු කිහිපයක්‌ ද අපට දැකිය හැකි ය. ක්‍රි.පූ. 400-420 අතර කාලයේ දී බුද්ධ පනිර්වාණය සිදු වූයේ ය යනුවෙන් ඉදිරිපත් කර ඇති මතය ඉන් එකකි. මේ මතය මධ්‍යකාලීන කාලානුක්‍රමය (median chronology) ලෙස දැක්‌වේ.

තෙවැනි මතය හෙවත් කෙටි කාලානුක්‍රමය (short chronology) අනුව බුදුන් වහන්සේ ගේ පිරිනිsවන්පෑම සිදු වූයේ ක්‍රි.පූ. 368 තරම් මෑත කාලයක දී ය.

කෙසේ වෙතත්, ලූම්බිණියේ කැණීමෙන් ලැබෙන තොරතුරු හා සම්බන්ධ කරන විට පෙනෙන්නේ වඩාත් නිවැරැදි වන්නේ දිගු කාලානුක්‍රමය බවයි. ඒ කැණීමේ කාලනිර්ණයට අනුව, අදාළ ස්‌ථානයේ පිහිටා ඇති විහාරය ක්‍රි.පූ. 6 වැනි සියවසේ පමණ ඉදි කර ඇත්තේ නම්, බුදුන් වහන්සේ ක්‍රි.පූ. 543 දී පිරිනිවන් පා වදාළ බවට ඇති මතයට එය ගැලපෙන බව පැහැදිලි ය. බුදුන් වහන්සේ වසර 80ක කාලයක්‌ ජීවත් වූ නිසා උන්වහන්සේ ගේ උපත ක්‍රි.පූ. 623 සිදු ව ඇති බව පෙනේ. ලුම්බිණි සල් උයනේ විහාරයක්‌ ඉදි කරන්නට ඇත්තේ බුද්ධත්වයෙන් පසු වන බැවින් මේ දින වකවානුව වඩාත් ගැලපෙන බව පැහැදිලි වේ. කෙසේ වෙතත්, අනාගතයේ සිදු කරනු ලබන වැඩිදුර අධ්‍යයනවලින් මේ දිනය වඩාත් තහවුරු කරගැනීමට හැකියාව ලැබිය හැකි ය. විශේෂයෙන් ලුම්බිණිය හැරුණු විට මේ වන විට හඳුනාගෙන ඇති වෙනත් ස්‌ථානවලින් ලැබෙන දින වකවානු ද වැදගත් විය හැකි බව උක්‌ත අධ්‍යයනයට දායක වූ පර්යේෂකයන් ද පෙන්වා දී තිබේ.

ධනේෂ් විසුම්පෙරුම

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s