විනෝදයට ආස්‌යාන්ත්‍රා හදන මීගමුවේ එඩ්වඩ් මහත්තයා

Posted: September 12, 2014 in ෴ගගන දැණුම෴

 

නෑ බෑ කියන්නට නුපුරුදු අලුත් විදිහට සිතන, මනුස්‌සයාට ලෝකය හරිම ලස්‌සනය. දිවි මඟ ඇහිරීමට කප්පරක්‌ බාධක පැමිණියද එවැනි මිනිසුන්ගේ ජීවන රිද්මය වෙනස්‌ කිරීමට ද නොහැකිය. එමෙන්ම එවැනි මිනිසුන් කෙටි කාලයක්‌ තුළ ජීවිතයේ හිනි පෙත්තටම ගමන් කරනවාද නොඅනුමානය. මෙවැනි පුද්ගලයෝ අප සමාජයේ ද දුලබව හමු වෙති. අප මේ කියන්නට යන්නේද එවැනි මිනිසෙක්‌ ගැන කතාවකි.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් පාසල් දරුවන් මූලික කරගෙන දිවයින පුරා පවත්වනු ලබන ගුවන් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේදී දුරස්‌ථ පාලක ආදර්ශ ගුවන් යානා සංදර්ශන ඉදිරිපත් කර සුවිශේෂී නාමයක්‌ දිනා සිටින්නේ මීගමුවේ ඒරෝමෝඩ්ලර්ස්‌ කණ්‌ඩායමයි. 1993 වර්ෂයේදී පිය පුතු දෙදෙනෙක්‌ ගුවන් නියමු විභාගයට පෙනී සිට ගුවන් නියමු බලපත්‍ර ලබාගනිමින් ඉතිහාසයට එකතුව සිටින්නේද මේ කණ්‌ඩායමේ පියා සහ වැඩිමහල් පුතාය. එය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයට එකතු වූ අමරණීය මතකයකි. අද මීගමුව නගරයේ ප්ලාස්‌ටික්‌ කම්හලක්‌ පවත්වාගෙන යන මේ ආදර්ශවත් කුටුම්භයේ පෙර ගමන්කරු නොහොත්, ප්‍රධානියා එඩ්වඩ් පෙරේරාය. අපේ කතාවේ නායකයා ද ඔහුය.

තමාගේ සැඟවුණු කුසලතාවයන් හා හැකියාවන් කවරේද? ඒ කුසලතාවයන් ඔප්නැංවීමට කළ යුතු කැපකිරීම් කොතෙක්‌ද? මේ මිනිසාගේ ජීවිත කතාව ඒ ගැටලුවලට සාර්ථකව පිළිතුර සපයන්නකි.

ලංකාවේ ප්‍රථම වතාවට පාසල් දරුවකු ලෙස දුරස්‌ථ පාලකයකින් පුංචි ගුවන් යානයක්‌ ගුවන්ගත කළේ එඩ්වඩ් පෙරේරාය. ඒ 1960 වර්ෂයේදීය. එදා සිට අද දක්‌වා විවිධ සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය කරන එඩ්වඩ් පෙරේරා සාර්ථක ව්‍යාපාරිකයෙකි. දරු තිදෙනකුගේ ආදරණීය පියෙකි. මෙතැන් සිට කතා කරන්නේ අප නොව, මේ ආදර්ශවත් මිනිසාය.

“මම ඉපදුණේ කිඹුලාපිටියේ. ඒ කාලේ අපේ ගමට ලයිට්‌, ටෙලිෆෝන් නැහැ. හද්ද පිටිසරයි. ඒත් මිනිස්‌සුන්ට අවශ්‍ය හැම දේම ගමේ තිබුණා. අපි මීගමුවට එන්නෙත් මාසයකට සැරයක්‌ වගෙයි.

අපේ තාත්තට රතිඤaCදා වැඩපළක්‌ තිබුණා. මිනිස්‌සු කිහිප දෙනෙක්‌ම ඒ වැඩපළේ වැඩ කළා. අපේ අම්මත් රතඤ්ඤා වැඩපළ දියුණු කරන්න ගොඩක්‌ මහන්සි වුණා. ඒ කාලේ මොන දිපංකරයේ ගිනි කෙළි සංදර්ශනයක්‌ තිබුණත් අපේ තාත්තා ඒකට සහභාගි වෙනවා. 1969 අවුරුද්දේ යාපනේ තිබුණු ගිනිකෙළි සංදර්ශනයකින් තාත්තා පළමු තැන ගත්තා මට මතකයි.

මම මුලින්ම ඉගෙනගත්තේ ගමේ පාසලේ. අධ්‍යාපනයට වඩා මගේ හිත ගියේ යන්ත්‍ර සුත්‍රවලට. අලුත් දේවල් කරන්න. මම පුංචි කාලේ මොකක්‌ හරි මැෂිමක්‌ දැක්‌කොත් ඒක අත ගගා දවසේම වුණත් ඉන්නවා. එහෙම යන්ත්‍ර සුත්‍රවලට ඇලුම් කරපු මට අවුරුදු දහය වෙනකොට කාර් එකක ඇන්ජිමක්‌ ගලවලා පිට්‌ කරනවා කියන්නේ මහ ලොකු දෙයක්‌ නෙමෙයි.

ඔය කාලේ මීගමුව එයාර්පොට්‌ එකට එන ප්ලේන් යන්නේ එන්නේ අපේ ගෙවල් උඩින්. ඉතිං ප්ලේන් එනකොට කොහේ හිටියත් මම මිදුලට දුවගෙන එනවා. ඒ තරම් ප්ලේන්වලට ආසයි. රතිඤ්ඤා ඔතන්න ගේන පොත්, සඟරාවල ගුවන් යානා ගැන විස්‌තර තිබුණොත් මම ඒවා එකතු කරනවා. ඉංග්‍රීසියෙන් ලියවෙලා තියෙන ඒ සටහන් මට කියවන්න බැහැ. ඒත් මම ඒ පොත්වල තියෙන පින්තූර එකතු කළා. ඒ පොත්වල සැහැල්ලු ගුවන් යානාවල පින්තූර තිබුණා. ඉතිං මම ඒවා බලලා තාත්තාට කරදර කරනවා මට පුංචි ගුවන් යානයක්‌ අරන් දෙන්න කියලා. ගෙදරට කවුරුහරි කලිසම් ඇඳපු කෙනෙක්‌ ආවොත් මම දුවලා ගිහින් අර සඟරා පෙන්නලා ඒ සටහන්වල තියෙන දේවල් අහනවා. ඔහොම යනකොට කොළඹ චාන්ස්‌ ලිමිටඩ් එකේ පුංචි ගුවන් යානයක්‌ විකුණන්න තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ගැන තාත්තට කියලා කොහොමහරි ප්ලේන් එක ගන්න කැමති කරව ගත්තා. ප්ලේන් එක රුපියල් 18 යි ශත 50 යි. එන්ජිම රුපියල් 50 යි. ඒ කාලේ රුපියල් පනහක්‌ කියන්නේ රජයේ සේවකයෙක්‌ගේ මාසේ පඩියටත් වැඩියි. ලොකු වියදමක්‌ ගියත් තාත්තා මට ඒ ප්ලේන් එක අරන් දුන්නා.

ප්ලේන් එක අඩි හතරක්‌ විතර දිගයි. හරිම හුරුබුහුටියි. ප්ලේන් එක ගත්තට මොකුත් කරන්න මට තෙරෙන්නේ නැහැ. මම ඉතිං ප්ලේන් එක ගලවනවා. හයි කරනවා. එක ජරමරයයි. ඔහොම ඉන්නකොට අපේ ඉස්‌කෝලේ මගේ යාළුවෙක්‌ ඒ වගේ ප්ලේන් එකක්‌ අරගෙන තිබුණා. ඊට පස්‌සේ යාළුවගේ ප්ලේන් එකේ එන්ජින් එක මගේ ප්ලේන් එකට සෙට්‌ කරලා බැලුවා. පොඩි වෙනසක්‌ දැනුනා. ඊට පස්‌සේ පිස්‌සු බල්ලෝ වගේ ප්ලේන් එක බිම දිගේ ඇඳගෙන දුවනවා. කැඩෙනවා… හදනවා… එහෙම කරලා මම පේල්න් එකේ වල්ග කොටසට නූලක්‌ දාලා ප්ලේන් එක යන්න ඇරලා නූලෙන් පාලනය කරන්න පටන් ගත්තා. ටික දවසක්‌ එහෙම කරලා බට කොටුවකට ලණුවක්‌ බැඳලා ප්ලේන් එකේ වල්ගේ ගැට ගහලා ප්ලේන් එක පාලනය කරන්න පටන් ගත්තා. එහෙම කරගෙන යනකොට එක පාරටම ප්ල්න් එක මිදුලේ එසවුණා. ඒ එක්‌කම ප්ලේන් එකත් අරගෙන පිස්‌සු බල්ලෙක්‌ වගේ මම පාරට දිව්වා. දුවන්න… දුවන්න… ප්ලේන් එක උඩ ගියා. ඒ එක්‌කම සෙනඟ ගොඩක්‌ අත්පුඩි ගැහුවා. බලනකොට බස්‌ තුනක්‌ පාරෙ නවත්වලා. මිනිස්‌සු බැහැලා ප්ලේන් එක දිහා බලාගෙන ඉන්නවා.

ඔය කාලේ වෙනකොට මම සාමාන්‍ය පෙළ විභාගය පාස්‌ වෙලා මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ ඉස්‌කෝලේ ටික දවසක්‌ ඉගෙන ගන්නකොට මට හිතුණා මට ඕන දේවල් මෙතැන උගන්වන්නේ නැහැ කියලා. එතැන කාර් හදන්න උගන්වන්නේ නැහැ. මෝටර් ගලවන්නේ නැහැ. මගේ පුංචි ඔළුවේ වැඩ කළේ ඔන්න ඔය වගේ දෙවල්. මම උසස්‌ පෙළ කළේ කලා අංශයෙන්. ඒත් ඉස්‌කෝලේ තිබුණු ප්‍රදර්ශනයකට වාෂ්ප ඇන්ජිමක්‌ හැදුවා. රට ඉඳන් ඇවිල්ල හිටපු තුන් දෙනෙක්‌ ඒ ප්‍රදර්ශනය බලන්න ඇවිත් මගේ නිර්මාණය දැකලා ගොඩක්‌ අගය කළා. ඒ විතරක්‌ නෙමෙයි මම ගැන පින්සිපල් එක්‌කත් කතා කරලා මේ වගේ දක්‍ෂතා තියෙන ළමයෙක්‌ව කලා අංශ පන්තියකට කොටු කරන්න එපා කියලත් තිබුණා. ඒ ප්‍රදර්ශනයෙන් පස්‌සේ මාව කලා අංශයෙන් විද්‍යා අංශයට මාරු කළා. මට ඒක කරගන්න අමාරු වුණා. පස්‌සේ මම ඉස්‌කෝලේ ගමන නවත්වලා කොච්චිකඩේ ඇණ මුරිච්චි හදන තැනකට වැඩට ගියා. ඒ වෙනකොට මට අවුරුදු 19 ක්‌ විතර ඇති.

ඒ වැඩපළේ අයිතිකරුත් පොඩි තැනක ඉඳලා හොදට බැට කලා දියුණු වුණු කෙනෙක්‌. එතැන මම මුලින්ම කළේ කොහුබත් දාලා පොළොව මදින එක. මාස හයක්‌ විතර මම ඒ වැඩේ කළා. මුලින්ම මට එහෙම වැඩක්‌ දීලා තියෙන්නේ දිගටම මම එතැන ඉන්නවාද කියලා බලන්න. අන්තිමේ මම අවුරුදු තුනක්‌ විතර වැඩ කරගෙන යනකොට මම ඒ වැඩපළේ ප්‍රධනියා වුණා. ඒ කාලේ අපේ පැට්‌රියේ තමයි ලංකාවෙන්ම ලියවන පට්‌ටල් වැඩ කළේ. ඒ වැඩේට අධ්‍යාපනය ඕනා. ගණන් සාස්‌තරය හොඳටම ඕනා. ඉංග්‍රීසි දැනුමත් ටිකක්‌ ඕනා. මම හොඳට වැඩ කරගෙන ගියා. වැඩපළට අවශ්‍ය නව තාක්‍ෂණය ලබාගන්න දහ දොළොස්‌ වතාවක්‌ විතර විවිධ පුහුණුවීම්වලට මාව ඉන්දියාවට යෑව්වා. ඉන්දියාවේදිත් කිසිම හැංගිමුත්තමක්‌ නැතිව මට හොඳ පුහුණුවක්‌ ලැබුණා. මාව ඉන්දියාවට යවන්නේ සති දෙකකට තුනකට. නමුත් මම දින හතර පහෙන් එනවා. මොකද මට ඕනා දේවල් ටික මම දඩ බඩ ගාලා ඉගෙන ගන්නවා. කොහොම හරි මම හොඳට වැඩපළ දියුණු කළා.

ඔය කාලේ වෙනකොට මම කසාද බැඳලා ලොකු දරුවො දෙන්නත් ඉන්නවා. ටික කාලයක්‌ යනකොට මටම කියලා දෙයක්‌ ගොඩනගා ගන්න ඕනා කියලා හිතුණා. ඊට පස්‌සේ මම එතැනින් ඉවත් වෙලා ගෙදරම පුංචි වැඩපළක්‌ පටන් ගත්තා. එහෙම වැඩ කරගෙන යන අතරතුර විවිධ ප්‍රදර්ශනවලට නිර්මාණ කරලා ඉදිරිපත් කළා. එහෙම ප්‍රදර්ශනයකදී තමයි මට රේ විඡේවර්ධන මහත්තයාව හමු වෙන්නේ. ඒ 1980 අවුරුද්දේ. ප්‍රදර්ශන භුමියේදී විඡේවර්ධන මහත්තයා මාත් එක්‌ක ගොඩක්‌ දේවල් කතා කළා. ඒ කතාවෙන් පස්‌සේ මම ගැන එතුමා ගොඩක්‌ පැහැදුණා. ටික දවසකට පස්‌සේ විඡේවර්ධන මහත්තයා අපේ ගෙදරට ආවා. විඡේවර්ධන මහත්තයා එනකොට මම ගේ පිටු පස තහඩු මඩුවේ වැඩ කරනවා. මගේ වැඩපළ දිහා බලලා විඡේවර්ධන මහත්තයා කිව්වා කාල්ස්‌ බෙන්ස්‌ මහත්තයාට තිබුණෙත් ලී මඩුවක්‌. ඒ මඩුවෙන් තමයි බෙන්ස්‌ කාර් එක එළියට ආවේ. ඔයා මේ වැඩපළ පටන් අරගෙන තියෙන විදිහ ගොඩක්‌ හොඳයි. දියුණු වෙන මිනිස්‌සු නැගිටින්නේ බිම ඉඳල තමයි. ගොඩක්‌ දේවල් ගැන කතා කරලා එතුමාගේ කාර්යාලයට එන්න කියලා දිනයක්‌ දුන්නා. උදේ 8 වෙනකොට එන්න කිව්වා. කියපු විදිහටම මමයි පුතයි උදේ පාන්දරින් ඉස්‌කූටරයෙන් විඡේවර්ධන මහත්තයාගේ කාර්යාලයට යන්න පිටත් වුණා. 8.05 ට විතර කාර්යාලයට දොරට තට්‌ටු කළා. දොර ඇරිච්ච ගමන් ‘ගුඩ් ඊවිනින්’ කිව්වා. මම ඇහුවා ඇයි සර් කියලා. ‘මම එන්න කිව්වේ උදේ 8 ට. දැන් වෙලාව 8.15 යි. ඉතිං ගුඩ් ඊවිනින් නේ.’ මම දැනගත්තා මෙයා ලේසි පහසු මනුස්‌සයෙක්‌ නෙමෙයි කියලා කට වහගෙන හිටියා.

‘හරි… වාඩි ගන්නකෝ’ කියලා මට කිව්වා මුලින්ම හරියට වෙලාවට වැඩ කරන්න ඉගෙනගන්න. එහෙම කරන්න බැරි නම් ගුවන් යානා පිළිබඳ කිසිම දෙයක්‌ කරන්න බැහැ කිව්වා. ටික වේලාවක්‌ ගියාට පස්‌සේ අපිට කිව්වා ඔතනින් බැහැලා වැඩපළට යන්න කියලා පඩි පෙළක්‌ පෙන්නුවා.

විඡේවර්ධන මහත්තයාගේ වැඩපළත් ලෑලි මඩුවක්‌. වැඩි දෙයක්‌ නැහැ. එතැන ටිකක්‌ වෙලා ඉඳලා එයාගේ කාර් එකෙන්ම අපිව රත්මලාන ගුවන් තොටුපළට අරගෙන ගියා. මම එදා තමයි පළමු වතාවට රත්මලාන ගුවන් තොටුපළට ගියේ.

විඡේවර්ධන මහත්තයා එයාගේ ප්ලේන් එක වාහනෙන් එළියට අරගෙන රේඩියෝ සිග්නල් මාර්ගයෙන් ප්ලේන් එක බිම දිගේ ඇරලා රවුමක්‌ කර කවලා උඩට නැග්ගුවා. උඩු ගුවනේ ටිකක්‌ රවුම් ගහලා ඇත්ත ප්ලේන් එකක්‌ එන්න වගේ ඇවිල්ල ඇන්ජිම නතර වුණා. ගුවන් යානා ගැන මගේ හිතේ තියෙන ආශාව වැඩිකමට ඉන්න තැනත් මට අමතක වුණා.

‘සර් මේක කියක්‌ වෙනවද’

ලබන සතියට….

තරංග රත්නවීර
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන



‘සර් මේක කීයක්‌ වෙනවද’ මම විඡේවර්ධන මහත්තයාගෙන් එහෙම ඇහුවා. එතුමා මගේ මූණ දිහා බලාගෙන ඉඳලා ‘මනුස්‌සයෙක්‌ගෙන් අහන්න ඕන ප්‍රශ්නත් තියෙනවා. නැති ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා හොඳට හිතලා කතා කරන්න.’ කියලා ගුවන් තොටුපළේ සේවකයන් මැද්දේ මට බැන්නා.

‘වැරද්දක්‌ වුණා නම් සමාවෙන්නෘ ඔයාගෙයි මගෙයි ආශාව එකයි. එකයි මම එහෙම ප්‍රශ්නයක්‌ ඇහුවේ. මෙතැන තියෙන ගැටලුව ගුවන් යානා පිළිබඳ අත්හදා බලන්න, ගුවන් යානා සමග වැඩ කරන්න ඔයාට අවස්‌ථාව ලැබිලා තියෙනවා. ඒ වාසනාව මට ලැබිලා නැහැ. එකෙන් කොටසක්‌ අපිටත් දෙන්න’ ඒ වචන ටික තරමක්‌ වේගයෙන් කියවුණා. විඡේවර්ධන මහත්තයා හොඳට මම කියන දේ අහගෙන ඉඳලා එයාගේ ඔෆිස්‌ කාමරේට යන්න ගියා. ටික වේලාවකට පස්‌සේ අපිට එතැනට එන්න කියලා පණිවුඩයක්‌ එව්වා.

‘මගේ ළඟ තියෙන කිසිම බඩුවක්‌ විකුණන්නේ නැහැ. ඔයා කෙලින්ම කතා කරපු නිසා මම මේ ප්ලේන් එකේ ගාණ හදලා බැලුවා. රුපියල් විසි දාහක්‌ වෙනවා. ඔයාට ගන්න පුළුවන්ද? විඡේවර්ධන මහත්තයා හිනා වෙලා එහෙම ඇහුවා.

‘ඇත්ත… එච්චර මුදලක්‌ මා ළඟ නැහැ. නමුත් මම කොහොම හරි ඒ මුදල හොයාගෙන එනවා’ කියලා මම විඡේවර්ධන මහත්තයාගෙන් සමුගත්තා.

ඊට පහුවදා උදේ පාන්දරම විඡේවර්ධන මහත්තයා අපේ ගෙදර ඇවිත් මම කරන වැඩ ගැන සෝදිසි කරලා මට කිව්වා ‘ඊයේ වෙච්ච කතාව වුණේ නැහැ කියලා හිතා ගන්න. මගේ ළඟ තියෙන සෑම භාණ්‌ඩයක්‌ම ඔයාගේ කියලා හිතාගෙන වැඩ කරන්න. ඒ බඩු ඕන එකක්‌ පාවිච්චි කරන්න. ඕන දෙයක්‌ මෙහෙට ගේන්න. පරීක්‍ෂණ කරන්න. ඔයා මට ගැලපෙන පුද්ගලයෙක්‌. එදා ඉඳලා විඡේවර්ධන මහත්තයා මට ගොඩක්‌ හිතවත් වුණා. අපි එකතු වෙලා නැඟලා යන්න පුළුවන් ගුවන් යානා දහඅටක්‌ හැදුවා. ඒ අතරට හෙලිකොප්ටර් තුනක්‌ තියෙනවා. එක්‌ හෙලිකොප්ටරයක්‌ තමයි හලාවත තෝඩුවාව වෙල් යායකට වැටිලා විනාශ වුණේ. ඒ කාලේ කාකපල්ලියේ රේ විඡේවර්ධනට වත්තක්‌ තිබුණා. විඡේවර්ධන මහත්තයා ඒ වත්ත බලන්න යන්නේ සැහැල්ලු ගුවන් යානයකින්. එහෙම යන දවස්‌වලට අපි පාන්දරින්ම වාහනයක ගිහින් ඒ ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ හුළං තත්ත්වය, පොළවේ තත්ත්වය ගැන පරීක්‍ෂා කරලා විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නට පස්‌සේ තමයි රත්මලාන එයාර්පෝට්‌ එකෙන් ගුවන් යානය පියාසර කරන්න ආරම්භ කරන්නේ. ඔය කියන හෙලිකොප්ටරය අනතුරට පත් වන දවසෙත් අපි උදේ පාන්දරින් ගිහින් ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ තත්ත්වය බලලා අපි විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නා. අපි කියපු විදිහට විඡේවර්ධන මහත්තයත් කාකපල්ලිය වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කළා. ඊට පස්‌සේ අපි නැවත ගුවන් යානයට පෙට්‌රල් දාලා චෙක්‌ කරලා ආපසු පියාසර කරන්න හැකි තත්ත්වයට සූදානම් කළා. අඩි එක්‌දාහස්‌ පන්සියක පමණ උඩින් මුහුදු වෙරළ දිගේ තමයි විඡේවර්ධන මහත්තයා ගුවන් යානය පියාසර කරලා තිබුණා. ටික දුරක්‌ එනකොට ගුවන් යානයේ උඩ කරකැවෙන බෙල්ට්‌ එකක්‌ කැඩිලා ගුවන් යානයේ ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා. ගුවන්යාන සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. කොහොමහරි විඡේවර්ධන මහත්තයා හලාවත තෝඩුවාව වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කරගෙන තියෙනවා. යානාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තිබුණා. නමුත් වාසනාවකට විඡේවර්ධන මහත්තයාට කරදරයක්‌ වුණේ නැහැ.

1995 අවුරුද්දේ අපි ප්ලේන් එකක්‌ හදනකොට කොටින්ට ගුවන් යානා හදනවා කියලා අපිව අත්අඩංගුවට ගත්තා. ඒ එක්‌කම ගුවන් තොටුපළ ප්‍රහාරයට සම්බන්ධ සැකකරු දැලේ. කියලා ඒ පුවත විදිලියක්‌ වගේ රට පුරා ගියා. ආරක්‍ෂක අංශවලට කරුණු කාරණා අවබෝධ කරලා දුන්නට පස්‌සේ අපිව නිදහස්‌ කළා. ගුවන් යානා නිර්මාණය සම්බන්ධයෙන් ඊට පසුවත් මාව කිහිප වාරයක්‌ම අත්අඩංගුවට ගත්තා. ඒත් මම වැටුණේ නැහැ. ඒ හැම දේකින්ම වුණේ මගේ නිර්මාණ දක්‍ෂතා ඉස්‌මතු වන එක විතරයි. ඒ හැම ප්‍රශ්නයක්‌ම ආවේ ත්‍රස්‌තවාදී කලබල නිසා. නැතුව සැහැල්ලු ගුවන් යානා හදන්න බැහැ කියලා මේ රටේ නීති නැහැ. කෙසේ වුවත් ත්‍රස්‌තවාදී තර්ජන නිසා සියලු නිර්මාණ කටයුතු නතර කර, ආරක්‍ෂිත ක්‍රම යටතේ මේ ගුවන් යානා තබා ගන්නට අපට සිදු වුණා. පසුව 2005 අවුරුද්දේ වත්මන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි මහතාගේ විශේෂ නියෝගයකට අනුව දිවයිනේ සියලු ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ අතරම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිසි අනුමැතිය සහිතව ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහනයටත් සංදර්ශන පැවැත්වීමටත් අවස්‌ථාව හිමි වුණා. ඒ විදිහට තමයි මේ කර්මාන්තයේ නැවත පිබිඳීමක්‌ ඇති වුණේ. පසුව කටුකුරුන්ද, රත්මලාන, කටුනායක ගුවන් තොටුපළවල ගුවන් යානා පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කරන්න ගුවන් හමුදාව මට අවසර දුන්නා. පස්‌සේ මම කතා කරලා පුත්තලම ගුවන් තොටුපළත් ලබා ගත්තා. එතකොටත් සැරට යුද්ධය යනවා.

ගුවන් යානා හදනවා කිව්වට අපි කරන්නේ ගුවන් යානයක්‌ එකලස්‌ කරන එක විතරයි. ප්ලේන් එකක සැකිල්ල පිටරටකින් ගෙන්නලා අපි තමයි එන්ජින් සෙට්‌ කරලා, තටු සවි කරලා කවර් කරලා ඉවර කරන්නේ. නමුත් අපිට ප්ලේන් එකක සැකිල්ල වුණත් හදන්න පුළුවන්. ඒත් ප්ලේන් සැකිල්ල හදනකොට යකඩ වෙල්ඩින් කරලා ස්‌කෑන් කරලා බලන්න ඕනා පිපිරුම් තියෙනවද කියලා. ඒ පරීක්‍ෂණ කරන්න ඕනා ඉතාම පරිස්‌සමට. ඒ තාක්‍ෂණය අපිට නැහැ. ඒ නිසා අපිට සැකිල්ල පිටරටකින් ගෙන්න වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර වියදම් කරනකොට දෙන්නෙකුට විතර යන්න පුළුවන් පුංචි ගුවන් යානයක්‌ එකලස්‌ කරගන්න පුළුවන්. ඒ වගේ සැහැල්ලු ගුවන් යානයකින් අඩි පන්දහසක්‌ පමණ ඉහළ අහසේ පියාසර කරන්නත් පුළුවන්. නමුත් අඩි දහකට එක්‌දහස්‌ පන්සියක පමණ උඩින් යනකොට තමයි පරිසරයේ සුන්දරත්වය හිත පුරා විඳින්න පුළුවන් වෙන්නේ.

ඔහොම ගුවන් යානා නිර්මාණය කරමින් ඉන්නකොට රේ විඡේවර්ධන මහත්තයා මට කිව්වා මටයි පුතාටයි දෙන්නටම ගුවන් යානා පදවන්න ලයිසන් ගන්න කියලා කිව්වා. එතකොට ඔයාලටම කියලා ගුවන් යානයක්‌ තියාගන්නත් පුළුවන් කියලා කිව්වා. ඊට පස්‌සේ 1993 අවුරුද්දේ මමත්, මගේ වැඩිමහල් පුතා නීල් කොනිනුත් පුද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගත්තා. ලයිසන් එක ගත්තට පස්‌සේ මමයි පුතයි හැම සති අන්තයකම වගේ වයික්‌කාල ප්‍රදේශයේ සැහැල්ලු ගුවන් යානා සංචාරවල යෙදෙනවා. සෑම සාර්ථක ගුවන්ගත කිරීමක්‌ හා ගොඩබෑමක්‌ අවසානයේදීම මගේ හිතට පුදුම සතුටක්‌ ඇති වෙනවා. ඒක වචනවලින් කියන්න මට බැහැ. ඒ වගේම ඉහළ අහසේ ඉඳලා අපේ රට දෙස බලන කොට ඉතාමත් නිහතමානී ආඩම්බරයක්‌ මට දැනෙනවා. ඒ තරම් අපේ රට ලස්‌සනයි.

විඡේවර්ධන මහත්තයා ගුවන් යානා පිළිබඳ මට විශාල දැනුමක්‌ ලබාදුන්නා. එය එතෙක්‌ මෙතෙක්‌ කාලයකට මට ලැබුණු සුවිශේෂී අත්දැකීම් සමුදායක්‌. ඒ වගේම එතුමා ළඟ තිබුණු උපකරණ භාවිත කරන්න ඉඩදීම නිසා මට විශාල කාර්මික දැනුමක්‌ ආවා. ඒ සියලු දැනුම් සම්භාරය මට දීලා එතුමා දැනට අවුරුදු දෙකකට විතර උඩදී අපෙන් සමුගෙන ගියා.

අදටත් මම සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග එක්‌ව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. මමත්, මගේ දරුවෝ දෙන්නත් ඉතාම කැමැත්තෙන් තමයි මේ දේ කරන්නේ. මගේ මතකය නිවැරදි නම් අපි මේ වන කොට රට පුරා ගුවන් සංදර්ශන දහනවයක්‌ පමණ පවත්වා තිබෙනවා. මේ ගුවන් සංදර්ශන ඉදිරිපත් කරමින් මමත්, මගේ පවුලේ උදවියත් විශාල මානසික තෘප්තියක්‌ ලබනවා. අපේ ගුවන් සංදර්ශන නරඹන පුංචි දරුවන්ගේ සතුට මට දැනෙනවා. මමත් පුංචි කාලේ ගුවන් යානයක්‌ දුටුවම මා තුළ හටගත් ආශාව, සතුට, සොම්නස තවමත් මතකයේද රැඳී තියෙනවා. පුංචි දරුවන්ට ඒ අහිංසක සතුට ලබාදීම සඳහා කරන සංදර්ශනවලට අපි රුපියලක්‌වත් අය කරන්නේ නැහැ.

අවසානයේ මෙන්න මේ ටිකත් ලියලා තියන්න… ජීවිතයේ වටිනාම දෙය තමයි තමා කරන කාර්ය සත්භාවයෙන් යුක්‌තව කරන එක. ඒ වගේම තමන්ගේම හැකියාවන්වලින් ඉදිරියට යනවා කියලා එකම අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනා. එහෙම හිතන කෙනාට කිසිමදාක වරදින්නේ නැහැ. දුවේ පුතේ… මම ඔබට කියන්නෙත් ඔබ තුළ මොන යම් හෝ දක්‍ෂතාවයක්‌ හැංගිලා තියෙනවා. අන්න ඒ දක්‍ෂතාවය දියුණු කරගන්න. එහෙම කළොත් ඔබට ඔබේ ජීවිතයේ යන්න පුළුවන් උපරිම දුරකට යන්න පුළුවන්.

තරංග රත්නවීර

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s