හොඳ විද්‍යා ලේඛකයකු විය හැක්‌කේ කොහොම ද?

Posted: September 12, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

විවිධ තේමා යටතේ නිමැවෙන සාහිත්‍ය කෘතීන් අතුරෙන් විද්‍යා ලේඛනයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. විද්‍යා රචනා හා ලේඛන දහස්‌ ගණනින් විවිධ ලේඛකයන් අතින් සමාජයට බිහි වෙයි.

විද්‍යා රචනාකරණයේ දී එය හරවත් ව හා රසවත් ව පාඨකයන්ට ඉදිරිපත් කිරීම වැදගත් වේ. මෙසේ විද්‍යා රචනයක්‌ ගුණවත් ව නිමැවීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේ ද?

විද්‍යා ලේඛකයකු වන රොජර් හයිෆීල්ඩ්ට අනුව නම් විද්‍යා රචනයකට එහි සීමා මායිම් ගැන කිසිදු නීතියක්‌ හෝ රීතියක්‌ නොමැත. අසාමාන්‍ය සොයාගැනීම්, ව්‍යසන, පෞද්ගලික සටහන්, අසාමාන්‍ය සිදුවීම්, ශක්‌ති අර්බුද, අසාමාන්‍ය හැකියාවන්, ජාන විකෘතිතා, අභ්‍යවකාශ චාරිකා ආදි ලෙස විද්‍යා රචනයකට පාදක විය හැකි සිදුවීම් කෙතරම් තිබිය හැකි ද? මෙහි දී වඩා වැදගත් වන්නේ විද්‍යාව පිළිබඳව වැඩි අවබෝධයක්‌ නොමැති අයට වුව ද රසවිඳිය හැකි ලෙස නිර්මාණය ඉදිරිපත් කිරීමයි.

හොඳ විද්‍යා රචනයක්‌ සඳහා පාදක කරුණු පහසුවෙන් සොයාගත හැකි වුවත් එය පැහැදිලි කිරීමට තරමක්‌ අපහසු ය යනුවෙන් විද්‍යා ලේඛකයකු වන ටිම් රුඩ්ෆෝඩ් ප්‍රකාශ කරයි. හොඳ කථාවක්‌ සොයාගැනීමට පහසු වන්නේ විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කිරීමේ දී වර්තමානයේ ඇති දැඩි තරගකාරීත්වය නිසා අලුත් කරුණු දිනපතා සමාජයට බිහි වන බැවිනි. එහෙත් පාපන්දු තරගාවලියක්‌ හෝ දේශපාලන කථාවක්‌ විස්‌තර කරන්නාක්‌ මෙන් විද්‍යා කථාංගයක්‌ පැහැදිලි කිරීම පහසු නො වේ. මන්ද බොහෝ විද්‍යා රචනා තුළ ගැඹුරු විද්‍යාත්මක සිද්ධාන්ත අඩංගු විය හැකි බැවිනි. විද්‍යා රචනයක්‌ සැම විට ම බලාපොරොත්තු නො වූ කරුණක්‌ වටා නිර්මාණය වෙයි. සෛල විද්‍යාව, අභ්‍යවකාශය, කීට විද්‍යාව, නැනෝ තාක්‍ෂණය ආදී සාමාන්‍ය ජනයාට නුහුරු නුපුරුදු සංකල්පයන් විද්‍යා රචනයක්‌ තුළ අඩංගු විය හැකි ය. එසේ ම විද්‍යාවේ නුපුරුදු ග්‍රීක හා ලතින් වචන අඩංගු වෙයි. එබැවින් තම විද්‍යා රචනයේ ගැඹුරු සංකල්පයන් නුපුරුදු වචන හරඹ දක්‌වා ඉදිරිපත් කරනු වෙනුවට පාඨකයාට තේරුම් ගත හැකි වන සේ ඉදිරිපත් කළ හොත් විද්‍යා රචනයක්‌ රසවත් ව නිමවන්නට හැකි වේ.

විද්‍යා ලේඛනය සඳහා විද්‍යාව හොඳින් දැන සිටිය යුතු ද?

මේ පැනයට හයිෆීල්ඩ් පවසන්නේ විද්‍යා ලේඛකයකු ගේ අරමුණ විය යුත්තේ තම අසහාය විද්‍යාත්මක දැනුම පාඨකයාට ඉදිරිපත් කිරීම නො වන බවයි. තමන් විද්‍යාවේ නිපුණයකු ලෙස රචනය ඉදිරිපත් කිරීම නො ව පාඨකයාට තමන් නිපුණයකු සේ හැඟෙන පරිදි රචනා කිරීමෙන් ලේඛකයකුට සාර්ථක විය හැකි ය. යොදාගන්නා විෂය කරුණු, දෘෂ්ටි කෝණය, කථා විලාශය, ප්‍රමාණය, රචනයේ අවසානය දක්‌වා ම පාඨකයාට රසවත් වන පරිදි ඉදිරිපත් කළ යුතු වේ.

විද්‍යා ලේඛනයේ දී විද්‍යා උපාධියක්‌ ලබා තිබීම අත්‍යවශ්‍ය ම ද?

ලේඛකයකු විද්‍යා නිර්මාණකරණයේ යෙදෙන අතරතුර දී ම තමන්ට අවැසි විද්‍යා දැනුම ලබාගනියි. ලේඛනය ද ඉගෙනුම් ක්‍රියාවලියකි. නිර්මාණය සඳහා අවශ්‍ය විධිමත් අධ්‍යාපනික පසුබිමක්‌ සපුරා තිබීම ලේඛන කටයුතු සඳහා පහසුවක්‌ වේ. එහෙත් එවන් දැනුමක්‌ ලේඛකයකුට අත්‍යවශ්‍ය ම නො වේ.

“මම ජාන තාක්‍ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා. නමුත් භෞතික විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයකට සම්බන්ධ යමක්‌ රචනයේ දී එයින් මට කිසිදු උපකාරයක්‌ ලැබෙන්නේ නැහැ. මා හඳුනන, විද්‍යාව පිළිබඳ නිල පුහුණුවක්‌ නො ලැබූ දක්‍ෂ විද්‍යා ලේඛකයන් සිටිනවා” යනුවෙන් විද්‍යා ලේඛකයකු වන ජෝ මර්චන්ට්‌ ප්‍රකාශ කරයි. ඇතැම් අවස්‌ථාවල පමණට වඩා විද්‍යාත්මක කරුණු දැන සිටීමත් විද්‍යා ලේඛනයේ දී බාධාවක්‌ විය හැකි ය. එවිට සාමාන්‍ය පුද්ගලයකුට නො ව තවත් එක්‌ විද්‍යාඥයකුට පමණක්‌ තේරුම් යන සේ ඉතා සංකීර්ණව තම නිර්මාණය නිමැවීමට පුළුවන.

විද්‍යා රචනයක ආරම්භක වාක්‍ය තෝරා ගත යුත්තේ කෙසේ ද?

මූලාරම්භක වාක්‍යය තුළින් පාඨකයාට එහි සඳහන් වන්නේ කිනම් කරුණක්‌ දැයි දැන ගැනීමට කුතුහලයක්‌ ඇති වේ. එම`ගින් පාඨකයකු ගේ මනස තුළ විචිත්‍ර රූපයක්‌ මවාලයි. නිර්මාණයේ පිවිසුම නිවැරැදිව යොදා ගත හොත් නිසැක ව ම පාඨකයකු එම නිර්මාණය ඉදිරියට ම කියවීමට තීරණය කරනු ඇත.

මර්චන්ට්‌ පවසන පරිදි ආරම්භක වාක්‍යය නිර්මාණයේ තේමාව හඳුන්වා දෙන්නක්‌ විය යුතු වේ. ආරම්භක වාක්‍යය මඟින් මුළු නිර්මාණයේ ම අඩංගු කරුණු පිළිබිඹු කරයි.

විද්‍යාවේ විවිධ විද්‍යාත්මක සංකිර්ණ කරුණු අඩංගු වේ. ඔබ විසින් ලේඛකයකු ලෙස මෙවන් කරුණක්‌ මූලාරම්භය සඳහා යොදාගනු ලැබුව හොත් පළමු පරිච්ඡේදයෙන් ම පාඨකයා ඔබ අතහැර යනු ඇත. එසේ ම මෙහි දී ලියවෙන දෘෂ්ටි කෝණය පිළිබඳ වත් හඳුනාගෙන සිටීම වැදගත් වේ. එබැවින් මෙය (ආරම්භය) කථාවේ අසීරු ම වාක්‍යය ලෙස ඔබට හැඟෙනු ඇත.

විද්‍යා ලේඛනයක උපමා හා රූපක යෙදිය යුත්තේ කෙසේ ද?

මර්චන්ට්‌ පවසන පරිදි රූපක හා විද්‍යාව අතර ඇත්තේ ආදරය හා වෛරය අතර ඇති සම්බන්ධතාව වැනි සබැඳියාවකි. එක්‌ ආකාරයකට විද්‍යා සංකල්පයක්‌ ම එකිනෙකට රූපක මෙන් ක්‍රියා කරයි. මන්ද විද්‍යාව ලොවේ පැවැත්ම ගැන විදහා දක්‌වන බැවිනි.

උපමා හා රූපක යෙදීමෙන් නිර්මාණයක්‌ රසවත් ව ඉදිරිපත් කළ හැකි වේ. එහෙත් ඒවා නොසැලකිලිමත් ව යෙදීමෙන් තම අදහස පැහැදිලි කරනු වෙනුවට පාඨකයා තවත් වියවුල් තත්ත්වයට ඇද දැමිය හැකි ය. එබැවින් ඒවා නිවැරැදි ලෙස යොදාගැනීමට සැලකිලිමත් විය යුතු ය.

මර්චන්ට්‌ එක්‌ අවස්‌ථාවක තම නිර්මාණයක, Antikythera යාන්ත්‍රණය (සෞරග්‍රහ මණ්‌ඩලයේ ගමන් පථ පෙන්නුම් කරන ඔරලෝසු යාන්ත්‍රණයක්‌ සහිත ඉපැරැණි ග්‍රීක මෙවලමක්‌) කාල යන්ත්‍රයක්‌ ලෙස හඳුන්වා ඇත. මන්ද මේ යාන්ත්‍රණය ම`ගින් අතීත, වර්තමාන හා අනාගත දත්ත පෙන්වන බැවිනි. එහෙත් මේ උපකරණය කාල යන්ත්‍රයක්‌ ලෙස හැඳින්වීම නිසා මෙය හරහා කාල තරණය කළ හැකි බව පාඨකයාට හැඟී යා හැකි බව එක්‌ විමර්ශකයකු ඔහුට චෝදනා කර ඇත. මෙසේ වැරැදි රූපක යෙදීමෙන් පාඨකයා ගේ මනස තුළ නිර්මාණය වැරැදියට වටහාගැනීමෙන් විකෘති චිත්‍රයක්‌ ඇඳෙනු ඇත.

මෙනිසා රූපක යොදාගැනීමේ දී එය යොදාගන්නේ කුමන හේතුවක්‌ නිසා ද? එය ම`ගින් නිර්මාණයට කිනම් බලපෑමක්‌ ඇති කරයි ද? යන කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

විද්‍යා ලේඛනයක්‌ නිම කළ යුත්තේ කෙසේ ද?

මර්චන්ට අනුව බොහෝ විද්‍යා ලේඛකයන්ට තම නිර්මාණයේ කපා හැරිය යුතු කරුණු පිළිබඳව නිසි අවබෝධයක්‌ නොමැත. යමකුට තමන්ට රිසි සේ ඉතා දීර්ඝ ලෙස තම කථාව නිර්මාණය කළ හැකි ය. කථාවක කපා හැරිය යුතු කරුණු පිළිබඳව සැලකිලිමත් නො වුව හොත් එම කරුණු වෙනත් කෙනකු අතින් කැපී යා හැකි ය.

තමන් ගේ නිර්මාණයේ මූලික අරමුණ හා ඉන් පාඨකයන්ට ලබා දිය යුතු අදහස ගැන අවබෝධයක්‌ ලබා සිටීම වැදගත් වේ.

එසේ නොමැති ව කෙතරම් රසවත් ව කාරණා ඉදිරිපත් කිරීමට තැත් කළත් නිර්මාණය අසාර්ථක විය හැකි ය. ලොව පුරා කෙතරම් ආකර්ෂණීය කරුණු තිබුණ ද ඒ සියල්ල ම නිර්මාණයක අඩංගු විය යුතු නො වේ.

නිර්මාණයේ අඩ වශයෙන් යොදාගත්, සොයාගැනීමට අපහසු වූ කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මන්ද එවන් කරුණු ගැන ලේඛකයකු දක්‌වන මඳ සැලකිල්ල නිසා ඒවා අනිසි ලෙස නිර්මාණයේ අඩංගු විය හැකි බැවිනි. එවන් කරුණු කතාවේ නිශ්චිත කර්යයක්‌ ඉටු නො කරන්නේ නම් කපා හැරීම යෝග්‍ය වේ.

තමන් ගේ කතාව නිර්මාණය වී අවසන් වූ පසු නැවත කියවා අනවශ්‍ය වචන ඉවත් කළ හැකි ය. යොදාගන්නා වාක්‍ය හැකිතාක්‌ කෙටි වන තරමට තේරුම් ගැනීම පහසු වේ. සැම විට ම ලේඛකයකු සිය පාඨකයාට කාරුණික විය යුතු වේ. ප්‍රකෝපකාරී හා මානයකින් පිරි ලේඛකයන්ට ඔවුන් අකැමැති විය හැකි ය.

තම පෞද්ගලික අදහස්‌වලට ගැති නො වී සමබරව කතාවක්‌ ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද?

හයිෆීල්ඩ්ට අනුව සැම විට ම කථාවක අරමුණ විය යුත්තේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි. යම් කාරණයක්‌ පිළිබඳ ව සොයාගත් කරුණු අවංක හා සාධාරණ ලෙස ඉදිරිපත් කළ යුතු වේ. සිදුවීමක සැම විට ම පැතිකඩ රැසක්‌ පවති. එබැවින් ඒවා ද කථාවක අන්තර්ගත වීම යෝග්‍ය ය.

මර්චන්ට්‌ පවසන පරිදි මනුෂ්‍යයන් ලෙස ලේඛකයන්ට සැම විට ම පෞද්ගලික අදහස්‌වලින් තොර ව කථාවක්‌ ඉදිරිපත් කිරීම අපහසු ය. එහෙත් ඒවා ඉදිරිපත් කරන විට සමබර හා තමන් ගේ අදහස්‌ ගැන තමන්ට ම අවංක ව ඉදිරිපත් කළ යුතු ය.

සම්මුඛ සාකච්ඡාවක්‌ හරවත් ව සිදු කරන්නේ කෙසේ ද?

හයිෆීල්ඩ් පවසන පරිදි මෙහි දී වඩා වැදගත් කාරණය වන්නේ සම්මුඛ සාකච්ඡාවක දී ඔබ පාඨකයන් නියෝජනය කරන්නකු පමණක්‌ වන බවයි. ඔබ ඔබ ම වර්ණනා කිරීමට කටයුතු නො කළ යුතු ය. එහෙත් ඔබ ගේ පාඨකයාට කතාව තේරුම් යන පරිදි හා රසවත් ව අවබෝධ වීමට සුදුසු පරිදි ප්‍රශ්න යොමු කළ යුතු වේ.

රුඩ්ෆෝඩ්ට අනුව සම්මුඛ සාකච්ඡාවක දී යොදාගන්නා භාෂාමය විලාශය වැදගත් වේ. ඉතා සංකීර්ණ ලෙස යොමු කරන ගැටලුවකට සංකීර්ණ පිළිතුරක්‌ ලැබෙනු ඇත. එයින් පාඨකයාට කිසිදු ප්‍රයෝජනයක්‌ අත් නො වේ. සරල ගැටලු යොමු කිරීමෙන් වඩා සරල හා පහසු පිළිතුරු ලැබෙනු ඇත. එහෙත් විද්‍යාව යනු සංකීර්ණ විෂයයකි. එබැවින් සරල පිළිතුරු ඔස්‌සේ සංකීර්ණ දේ පැහැදිලි කරගැනීම වැදගත් වේ.

මෙහි දී සම්මුඛ සාකච්ඡාවට ලක්‌ වන තැනැත්තා ගේ අදහස්‌ ගැනත් සැලකිලිමත් විය යුතු ය. ඔහුට හෝ ඇයට මාතෘකාව කුමක්‌ දැයි නිසි අවබෝධයක්‌ නොමැති නම් හෝ ඉන් පිටතට යොමු වුව හොත් සාකච්ඡාවේ අරමුණ ගැන පහදා දීම යෝග්‍ය ය. ඔහු හෝ ඇයට ඔබේ මනස කියවිය නොහැකි ය. එබැවින් එම තැනැත්තා ගෙන් ලබාගැනීමට අවශ්‍ය කරුණු නිසි ලෙස ඔහුට පැහැදිලි කළ හොත් තමන්ට අවශ්‍ය කාරණා නිසි ලෙස ලබාගත හැකි වේ.

විද්‍යා ලේඛනයේ දී ලේඛකයකු සංවේදී විය යුත්තේ කෙසේ ද?

සාමාන්‍ය පුද්ගලයකුට පවා තේරුම්ගත හැකි සේ නිර්මාණයක්‌ රසවත් ව, පැහැදිලි ව හා සරල ලෙස නිම විය යුතු අතර එහි නිරවද්‍යතාව නොබෙල් ත්‍යාගලාභියෙකු පවා සෑහීමකට පත් කළ යුතු මට්‌ටමේ පැවතිය යුතු ය.

ලේඛකයකු තම ලේඛනය සිය පාඨකයාට කියවිය හැක්‌කක්‌ බවට පත් කරනු වෙනුවට කියවිය යුත්තක්‌ සේ හැඟෙන පරිදි නිර්මාණය කළ හොත් ඔහු සාර්ථක වනු ඇත.

ඈන් රුක්‌ෂාණි සිල්වා

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s