සමාන්තර රූප

Posted: September 15, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

සෑම් තාත්තා ගේ හැඩි වුණු විද්‍යාගාරය හාත්පස සිසාරා බැලුවේ ය. ‘අයිවි ලීග්’හි සම්මානනීය භෞතික විද්‍යාඥයකු බවට පත් වීමෙන් අනතුරුව වත් ඔහුට තේරුම් ගැනීමට කිසිසේත් ම නොහැකි වූ එක්‌ දෙයක්‌ තිබිණි. එනම් පියා ගේ මේ විරල ගණයේ ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක පර්යේෂණයන් ය. තාත්තා වසර තුනක්‌ පුරාවට පිළිකාවක්‌ සමඟ සටන් කරමින් සිටි බැවින් මේ අපූරු ලෝකය ඒ මුළු කාලය පුරාවට ම අඳුරේ ගිලී තිබිණි.

මේ දූලි වැකුණු විද්‍යාගාරයත් හරියට ම තාත්තා වගේ ම ය. කොහෙත් ම තේරුම් ගැනීමට අපහසු ය. ඔහු ගේ පියා සමාන්තර විශ්වයන් පිළිබඳ වාද රැසක්‌ ඉදිරිපත් කළේ ය. එහෙත් කෙදිනක වත් ඔහු ජංගම දුරකථනයක්‌ හෝ රූපවාහිනි යන්ත්‍රයක්‌ පාවිච්චි කළේ නැත. ඔහු ගේ මේ විද්‍යාගාරය පිරී තිබුණේ සෑම් ඉපදෙන්නටත් කලින් ම කල් ඉකුත් වූ නොයෙක්‌ ආකාරයේ උපකරණවලිනි. ඒවා අතර විශාල රික්‌ත නළ සහ මුළු බිත්තිය තරමට ම උසින් යුත් විශාල

පැරැණි පරිගණක යන්ත්‍ර පවා තිබිණි.

කොරිඩෝව දිගේ ඇවිද එන ඔහු ගේ සොහොයුරිය, ඩොරිස්‌ ගේ අඩි හඬ ඔහුට ඇසිණි. තව සුළු මොහොතකින් ම ඇය එහි පෙනී සිටියා ය. ඇය ජයට ඇඳ පැළඳගෙන හිටියේ මංගල උත්සවයකට සහභාගී වන්නට මෙනි. මරණයක ශෝකයක සේයාවක්‌ හෝ ඇගෙන් දිස්‌ වූයේ නැත. “මම හිතුවා ඔයා මෙහේ තමයි ඇත්තේ කියලා.” ඇය කීවා ය. “තාත්තා ගේ මේ බඩු මුට්‌ටු ඔක්‌කොම විකුණන එක නම් ලැඡ්ජාවට කාරණයක්‌ තමයි. ඒත් කළ යුතු හොඳ ම දේ තමයි ඒක.”

ඒ වචන ඇසෙන විට ම ඔහු තුළ ඇති වූයේ දැඩි පිළිකුලකි. “මොන මගුලට ද මේ හදිසියේ අපි ලැබ් එක විකුණන්නේ? මට තව කාලේ ඕනි කරනවා මේ හැම දේ ම පරීක්‌ෂා කරලා බලන්න.”

“තාත්තා ගේ අන්තිම කැමැති පත්‍රයේ තියෙන විදිහට නම් වත්ත අපි අතරේ බාගෙ බාගෙ තමයි බෙදෙන්නේ.” ඇය අත අතෙහි වූ අත් පළඳනාව අත ගාමින් පැවසුවා ය. “ඉතින් ඇත්තට ම ඔයාට මේක ඕනි නම් එහෙම කරමු. ඔයා ලැබ් එක තියාගන්න මම ගේ ගන්නම්.”

මුළු වේලාව තුළ ම ඔහු දෑස්‌ අයාගෙන බලා සිටියේ ඇගේ අතෙහි වූ දියමන්ති අත් පළඳනාව දෙස ය. ඔහු එය වසර ගණනාවකින් මෙහා දී දැක තිබුණේ නැත. එහි විශේෂත්වයක්‌ තිබිණි. “ඕක අම්මගේ. ඔයාට කොහෙන් ද ඕක?”

ඩොරිස්‌ සිනාසුණා ය. “තාත්තා මේක මට දුන්නේ ගිය සතියේ.”

“මොකක්‌, තාත්තා? මේක ඔයාට දුන්නා? මොන විකාරයක්‌ ද”

“ඔයාටත් මෙහෙ ඉන්නයි තිබුණේ සැමුවෙල්”

ඔහුට අපහසුවක්‌ දැනිණි. ඩොරිස්‌ හැර අනෙක්‌ සැම දෙනෙක්‌ ම ඔහු ආමන්ත්‍රණය කළේ ‘සෑම්’ යනුවෙනි. එහෙත් ඇය කිසි විටෙකත් ඔහුට එසේ කතා නො කළා ය. මාස ගණනක්‌ පුරා තාත්තා කල් ගෙව්වේ අඩ සිහියෙනි. ඔහු ගේ හොඳ සිහිය පැමිණියේ වරින් වර ය. වසර දහයකින් ඔහු බැලීමට වත් නො පැමිණි ඩොරිස්‌ අවසන් දින කිහිපයේ දී පමණක්‌ ඔහුට සාත්තු කරන්නට යෑයි කියමින් එහි විත් නතර වූවා ය. මේ කෙටි කාලය තුළ දී නම් තාත්තා ඇයට “තෑගි” බොහොමයක්‌ දී ඇති බව නම් ඔහුට පෙනිණි. තාත්තා ගේ බැංකු ගිණුමත් සතයක්‌ වත් ඉතිරි නො කර සුද්ද කර තිබිණි.

“මේ ලැබ් එකට වඩා කීප ගුණයක්‌ ඒ ගේ වටිනවා.” කෝපයට පත් ඔහු කෑගැසුවේ ය.

ඩොරිස්‌ උරහිස්‌ ගසා දැමුවා ය. “හොඳයි. … මෙච්චරයි කරන්න තියෙන්නේ, අපි ඒ දෙක ම විකුණලා ලැබෙන ගාණ අපි අතරේ සමානව බෙදා ගන්නවා. හරි නෙ? ”

සෑම් රවා බැලුවේ ය. “දැනටමත් ඔයාට උවමනාවටත් වඩා සල්ලි තියෙනවා කියලයි මම හිතාගෙන හිටියේ.”

“මම මගේ අනාගතය ගැන හිතන්න ඕනි.” එසේ කියමින් ඇය කාමරයේ කොනක වූ දැවැන්ත රිදියෙන් කළ කණ්‌ණාඩිය වෙත ගමන් කළා ය. “තාත්තා මොන අහවල් දේකට ද මේක මෙතන තියා ගත්තේ? එයා කවම දාක වත් කොණ්‌ඩෙ පීරුවේ නැතුවා වගේ ම අඳින පළඳින දෙයක්‌ ගැන සැලකිල්ලක්‌ තිබුණෙත් නැහැ නෙ.”

“මම කොහොම ද දන්නේ?”

ඩොරිස්‌ ඒ අසල ම වූ පරිගණකය ඉදිරිපිට නො සැලකිල්ලෙන් හිඳ ගත්තා ය. ඇත්තෙන් ම කිවුවොත් ඉඳ ගත්තාටත් වඩා ඇය ඒ වෙත කඩා වැටුණා ය.

“හෝව්… පරිස්‌සමින්,” සෑම් කෑගැසුවේ ය.

ඩොරිස්‌ ඒ අසල වූ පරිගණකයට වැරෙන් පහරක්‌ එල්ල කළා ය. “මොකට ද? මේ කුණු කන්දල්වලට දැන් කරන්න පුළුවන් දෙයක්‌ නෑ.”

එහෙත් එහි දී ඇයට වැරදුණි. ඇය අතින් සමහර විට ස්‌විචයක්‌ එබෙන්නට ඇත. පසෙක වූ දැවැන්ත දත්ත තැටි කිහිපයක්‌ ස්‌වයංක්‍රීයව ම හැරෙන්නට පටන් ගත්තේ ය. එකෙණෙහි ම කණ්‌ණාඩිය දිළිsසිණි. ඩොරිස්‌ ඉබේ ම අඩියක්‌ පසුපසට තැබුවා ය.

පරිගණකයේ පසෙකට සවි කර තිබූ විශාල රැහැනක්‌ ක්‍රියාත්මක වී කණ්‌ණාඩිය දෙසට ස්‌වයංක්‍රීයව ඇදෙන ආකාරය ඔහු පුදුම වී බලා සිටියේ ය.

“මොන මගුලක්‌ද මේ වෙන්නේ?” සෑම් කෑගැසුවේ ය.

ඊළඟ මොහොතේ දී ඔහු කණ්‌ණාඩිය තුළින් දුටුවේ ඔහු ගේ ම සහ ඩොරිස්‌ ගේ ම ප්‍රතිබිම්බයකි. එහෙත් එහි කුමක්‌ හෝ වරදක්‌ තිබිණි. කණ්‌ණාඩියෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ විද්‍යාගාරය සම්පූර්ණයෙන් ම හිස්‌ ව තිබිණි. එහි එකදු පරිගණකයක්‌ හෝ නො තිබිණි. එහි වූ සෑම් හා ඩොරිස්‌ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටිය හ.

“මේක කණ්‌ණාඩියක්‌ නෙමෙයි. මේක දොරටුවක්‌. බලන්න අර ලැබ් එක, ඒක සම්පූර්ණයෙන් ම හිස්‌. මම හිතන්නේ ඒක තවත් ලෝකයක්‌. ලෝක අතර කොහොමත් වෙනස්‌කම් තියෙනවා. තාත්තා විස්‌තර ලියා තැබුව සමාන්තර ලෝකවලින් එකක්‌ වෙන්න ඕනි මේ තියෙන්නේ.”

“මොන විකාරයක්‌ ද?” නාසයෙන් හුස්‌ම පිඹිමින් ඩොරිස්‌ කීවා ය.

ඒ මොහොතේ දී එම ලෝක දෙක අතර වූ සමානත්වයක්‌ සෑම් දුටුවේ ය. එනම් ඔවුන් දෙදෙනාත් තමන් මෙන්ම රණ්‌ඩු කරමින් සිටිනා බවයි.

අනෙක්‌ පැත්තේ ඩොරිස්‌ කෝපයට පත් ව අත් පළඳනාව ගලවා ඒ සෑම් ගේ මුහුණට ම ඉන් දමා ගැසුවා ය. අත් පළඳනාව අල්ලා ගත් අනෙක්‌ පැත්තේ සෑම් එය කාමරය හරහා විසි කර දැමුවේ ය.

එය දොරටුව හරහා මෙපිට වූ යථාර්ථයට ලිස්‌සා ආවේ ය.

ඩොරිස්‌ එම දෙවැනි අත් පළඳනාව දෙස බැලුවා ය. “ඒක මගේ එක වගේමයි නේද? කොහොම ද එහෙම වුණේ?”

“ඒකම තමයි. කිසි ම වෙනසක්‌ නැහැ.” සෑම් කීවේ ය.

ඇය සෙමින් ඒ වෙත ළං වූවා ය.

“ඒක අල්ලන්න එහෙම එපා.” සෑම් කෑගැසුවේ ය.

එහෙත් ඔහු ගේ සොයුරිය ඔහුව නො තකා හැරියා ය. ඇය නැඹුරු වී එය අල්ලා ගන්නා විට ම අනෙක්‌ පැත්තේ වූ ඇගේ නිවුන් ඩොරිස්‌ ද එය අල්ලා ඒ පැත්තට ඇද්දා ය.

“ඒක මගේ” ඩොරිස්‌ ඇගේ ම අනෙකාට කීවා ය. “අත ඇරපන් මායාකාරි”

එහෙත් කණ්‌ණාඩියෙන් ආ ඩොරිස්‌ එය අතහැර දමන්නට කැමැති වූයේ නැත. ඇයත් හැකි වෙර යොදා අත් පළඳනාව ඒ දෙසට ඇද්දා ය.

එක්‌වර ම සෑම්ට සුළඟක්‌ වැනි යමක්‌ දැනිණි. විදුලි බුබුළ මොහොතක්‌ ගැස්‌සිණි. ඔහුට ඇසුණ හඬ හරියට ම යමෙක්‌ බීම වීදුරුවේ අඩියේ වූ බීම ස්‌වල්පයක්‌ බටයකින් ඉහළට ඇද ගන්නා විට ඇසෙනා හඬට බෙහෙවින් ම සමාන විය. එකෙණෙහි ම ඔහු ගේ සොයුරිය කණ්‌ණාඩිය තූළට අතුරුදන් වූවා ය.

පරිගණකයෙන් ගිනි පුපුරු කහිපයක්‌ විසි විණි. එයින් දුමක්‌ නැෙ`ගන්නට විය. කණ්‌ණාඩිය අඳුරු වූ අතර විශාල ‘පොප්’ හඬක්‌ සමඟ එය බිඳී ගියේ ය. චුම්බක පටි ක්‍රියාත්මක වීම නැවතිණි. එම දොරටුව යළිත් ක්‍රියාත්මක කරවීමට හැකි යෑයි ඔහු තුළ විශ්වාසයක්‌ නො තිබිණි.

එසේ වී නම් ඩොරිස්‌ට තමන් සම’ ම ජීවත් වීමට ඉගෙන ගත හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූවේ ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s