Archive for the ‘සරණක් සොයා ෴’ Category


 


~ ලෝකයේ පැවතිය හැකි ගැඹුරුතම දෘෂ්ටීන් අසිරිමත් බුදු නුවණින් දුටු
දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතුන් කම්පා කල -බ්‍රහ්මජාල සූත්‍රය ~

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්‍ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
2. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළ වූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්‍ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.

3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්‍ෂුන් අතරෙහි මේ කථා ධර්‍මය පහළ විය. ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දන්නා අරහත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි. පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´.

4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය. වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ´´ යි ඇසූහ. ඒ භික්‍ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. විරුඞ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ.

5. ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකොට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඞගු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් පැහැදිලිය, සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

´´මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?´´

8. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. ශ්‍රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ´´ යි.

9. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ කාම සම්පත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සම්පතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය´´ යි.

10. ´´ශ්‍රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්‍යම කියති. සත්‍යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සම්බන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති´´

´´ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද, පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රිය වේද, බොහෝදෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය´´.

´´ශ්‍රමණ භවත් ගෞතමයෝ සම්ඵප්‍රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.

11. ´´ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම්, සිඳීම්වලින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රී කෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගී කීම්, වැයීම්, කෝළම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා, සුවඳ දැරීම වැනි සැරසීම් වලින් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්‍රීන් හෝ ගෑනු (ගැහැනු) දරුවන්, දාසයින් හෝ දාසීන්, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීම්, වංචා, මායම් කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර (බලහත්කාර) ක්‍රියා වලින්ද වැළකුණෝය´´.

´´මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය´´ යි වදාළ සේක.

චූල ශීලය නිමි.

12. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණේ (වැළකුණෝ) ශ්‍රමණ ගෞතමයෝය´´.

´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇඳීම් රථ වාහන ඇඳ පුටු ආදිය සුවඳ වර්ග තබාගෙන ප්‍රයෝජන විඳීමය. මෙසේ මෙබඳු දේ රුස් කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

13. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් – නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රඟ මඬුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙහුම් කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීම්ය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, (මල්ලව නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කඳවුරුය, සිවුරඟසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැකීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

14. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- අට මඬුලු(කොටු) කෙළිය, දස මඬුලු(කොටු) කෙළිය, අහස් කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම), එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමේ ලම කෙළිය, සිංහ කෙළිය (එනම් සැලුම් කෙළිය කූරු ගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්(වස්දඬු) පිඹීමය, නඟුල් කෙළිය, කරනම් ගැසීම, කන්නන්ගුරු කෙළිය (එනම් තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රිඩාවකි), වැලි ආදිය මැනීමේ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතූදේ කීමේ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

15. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. මෙබඳුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

16. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සමබන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබඳුවූ සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

17. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනම් රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන(රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

18. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති. සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකම් කරන්නෝද කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය´´.

19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-

සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,
මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.
(අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.

චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.

හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.

විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.

(ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.

20. ´´මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්‍රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද?

21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´´.

22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´.

23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන් වඩා වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරති.

පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන්, වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරමි.

ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති.

එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය.

´´මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි´´.

24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි.

ඔහු මෙසේ කියයි.

´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්‍යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්‍ය භාවය දනිමි´´යි කියයි.

25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි.

ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´.

´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´

26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි.

´´මේ ඒ හතරවැනි කාරණයයි´´.

27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති.

28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය.

29. යම් ධර්‍මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිසැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.

පළමුවැනි බණ වරයි.

__1. ´´මහණෙනි, එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය හා ලෝකය එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි කරුණූ හතරකින් ප්‍රකාශ කරති´´.

2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්‍වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙනතමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති.

3. ´´මහණෙනි, යම්කිසි විටෙක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්‍වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපිදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්‍වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

5. මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලෝක කර්‍තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්‍වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම්


ප්‍රථමයෙන්ම, අද ලංකාවේ ඇති අපමහ ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතු සහ පාරිභෝගික වස්තු, ලේඛන හා වාර්තා ඔස්සේ උපුටා ගනිමින් පෙලගස්වමු.

සිදුහත් අසිපත

ලෝකයේ දැනට සදහන්වී ඇති බුද්ධ ඉතිහාසයේ, පුරාණතම වස්තුවය වන එදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමනයේදී සිය කෙස් වැටිය සිඳලූ අසිපත මෙය ය. කතරගම කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (1)

කේශ ධාතු

එදා අහසට විසිකර දැමු කේශ ධාතු දේවගොත්රික නායකයා වූ සක්දෙව් විසින් තවුතිසා ලොව, සිළුමිණ නම් සැයක් සදා තැම්පත් කර බව සදහන්වන මුත් අද දක්වා එය කොහිදැයි හදුනාගෙන නොමැත. තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ලබාගත් කේශධාතු ස්ථාන රැසක තැම්පත් කර ඇත. ඒවා නම්,

සිරිහඩු (සිරි=බුදුන්, හඩු=කෙස්) සෑය තිරියාය (2) පසුව මෙය ගිරිහඩු සෑය නම්විය. මෙම ස්ථානය ආකාශ චේතිය නමින්ද හැදින්වූ බවට සාදක ඇත.

ගිරිහඩු සෑය අම්බලන්තොට (3)

කුරුණෑගල මාවතගම, අරම්පල මකුලාන රජමහ විහාරය (4)

හම්බන්තොට කළමැටිය ආසන්නයේ ඇති (එහි දාගැබ් නවයක් ඇත) විහාර නමය (5)

හම්බන්තොට ගොඩවාය වරාය අසල ගෝටපබ්බත රජමහ විහාරය (6)

දකුණේ තංගල්ල වනවාස විහාරය නොහොත් කුඩා තංගලු විහාරය අසල ගිරිහඩු සයක් ඉදිකර ඇතත් අද මෙය හදුනාගත නොහැක. ඉහත සදහන් සියලු ස්ථාන වල ඇත්තේ තපස්සු භල්ලුක වෙළද දෙබැයන් ට ලබාදුන් කේශධාතු කොටස් ය. එනමුදු අද බැතිමතුන් සිතනුයේ තිරියායේ පමණක් තැම්පත් කල බවය. ඒ හා සමාන අනිත් ස්ථාන බොහෝදෙනෙකු නොදැන සිටීම මෙයට හේතුවය .

මීට අමතරව තපස්සු භල්ලුක වෙළද දෙබැයන් විසින් ජයසේන නම් නා රජුට ලබාදුන් තවත් කේශධාතු කොටසක්, කාවන්තිස්ස රජුකල සිව නම් භික්ෂුන් වහන්සේ නමක් රැගෙනවිත් සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ (7)

බුද්ධත්වයෙන් නමවන මස මියුගුණ දම් දෙසුමේදී, සුමන රජුට ලබාදුන් කේශධාතු මහියංගන ච්යිත්‍යයේ නිදන් කෙරුණි (8)

මහසෙන් රජ කල කරවූ (කි.ව.274-301) අනුරාධපුර ජේතවන මහා ස්තුපය තුල තවත් කේශධාතු කොටසක් ඇති බව, වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය (9)

බුදුරදුන් මුතියංගන වැඩමවූ අවස්ථාවේ ඉන්දික නම් දේව පුත්‍රයාට දුන් කේශධාතු මුතියංගන දාගැබෙහි තැන්පත් කර ඇත (10) මාට අමතරව මුතු බවට පත්වූ බුදුන්ගේ දහදිය එහි ඇතයි විශ්වාසයක් පවතී .

බුදුරදුන් කතරගමට වැඩි අවස්ථාවේ එකල එහි පාලක වූ මහසෙන් නොහොත් මහාඝෝෂ රජුට ලබාදුන් කේශධාතු කිරිවෙහෙරේ තැම්පත් කර ඇත (11)

මහනුවර යටිහෙලගල විහාරයෙහි, පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ කේශධාතු කොටසක් තැම්පත් කර ඇත. එම කේශධාතු ලැබුණු ආකාරය සදහන්ව නැත (12)

පළමුවන මුගලන් රජු සමයේ, ශිලාකාල නම් කෙනෙකු දඹදිව සිට කේශධාතු රැගෙනවිත් තිබුනද, අද එය තැම්පත් කල ස්ථානය සොයාගැනීමට අපහසුය.

තවද බුදුරජුන් ජීවමාන සමයේ රහතුන් වහන්සේ සයනමකට ලබාදුන් කේශධාතු මුහුද ආශ්‍රිත පෙදෙසක ස්තුප සයක තැම්පත් කෙරුණි. එම දේශය “කේශාවති” නමින් හදුන්වනු ලෑබු නමුත් අද හදුනාගත නොහැක.

මීට අමතරව බංගලිදේශය, බුරුමය වැනි රටවලද කේශධාතු නිදන්වූ වෙහෙර විහාර ඇති නමුත් “ඉන්දියාවේ” කේශධාතු හෝ නකාධාතු තැම්පත් කල ස්ථාන හමුවී නැත. බංගලිදේශයේ ඇති කේශධාතු වලින් කොටසක් නැවතත් හුණුපිටිය ගංගාරාමය හා මාදම්පේ සේනානායකාරාමයේ මෑතකදී තැම්පත් කර ඇත.

ග්‍රීවා ධාතුව (බෙල්ල ආශ්‍රිත අස්ථි සතක්) (13)

සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය වූ සරබූ තෙරුන්, එදා උපවත්තන සල් උයනේ පිරිනිර්වානයෙන් පසු දැල්වූ ච්තකයෙන් ලබාගත් ලොව ප්‍රථම සර්වඥ ධාතුව, තැම්පත් කෙරුනේ පෙරකළ සුමන රජු කේශධාතු තැම්පත් කල මහියංගන ස්තුපයේම ය. හෙළ භික්ෂුවක් වූ සරබූ තෙරුන් එදා එහි පැමිණියේ තවත් භික්ෂුන් වහන්සේ පන්සීය නමක් සමගිනි . සීවලී සහ සුමන නම් සමනේරයන් වහන්සේ නා ලොවෙන් ගෙන ආ මෙදවර්ණ පාෂණයෙන් සැය වසා දෙළොස් රියනක් උසට ස්තුපය නැංවූ බවට සදහන් වේ. සරබූ යනු සුමන රජුගේ වැඩිමහල් දියණියගේ දරුවකු බව ජනප්‍රවාද වල සදහන් වේ.

ලලාට ධාතුව (14)

මෙය බුදු සිරුරේ නළල් තලය ආශ්‍රිත ධාතුවය. පැරණි වංස කතා වලට අනුව, මෙම ධාතුව මලල රජදරුවන් ලබාගත් ධාතු කොටසට අයත් විය. ඉන්පසු කාලයෙන් කාලයට රහතුන්වන්සේලා විසින් ආරක්ෂාකරමින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි ස්ථාන වල තබමින් වන්දනා කර ඇත.

මහාවංසය අනුව දෙවනපෑතිස් රජුගේ සොහොයුරා වන මහානාග කුමරු රුහුණට පලායන්නේ මහින්දාගමනයට පෙරය. ඉන්පසු රුහුණේ ඇති නාග විහාරය(තිස්සමහාරාමය හෝ ඒ අසල වෙනත් විහාරයක) නම් වූ ස්ථානයක ලලාට ධාතුව තැම්පත් කර වන්දනා කලබව සදහන් ය. මහානාග රජු මෙම ධාතුව ලබාගන්නේ ලක් පොලවේ “හත්ථොට්ඨ” ජනපදයේ කුක්කුට පර්වතය අසල සල් ගසක් යට වූ ආරාමයකින් ය. ඒ වනවිටත් එහි ජනයා පන්සිල් හා අටසිල් රකිමින් ද දානාදී පින්කම් කරමින්ද සිටිබව සදහන් වේ. (බොහෝවිට මහින්දාගමනයට පෙර) එම ආරාමයට ලලාට ධාතුව වැඩමවූයේ කොසබෑ නුවර ඝෝසිතාරාමයේ සිට මහාදේව නම් රහතන් වහන්සේ විසින් බව ධාතු විස්තරයේ සදහන් වේ. ඉන්පසු මහානාග පරපුරෙන් රුහුණේ පැවත එන කාවන්තිස්ස රජු හා විහාරමහා දේවිය, පෙරකී කේශධාතු මෙන්ම ලලාට ධාතුවද සේරුවිල මංගල මහා සැයේ තැම්පත් කල බව සදහන් වේ. එදා සිට (කි.පු. දෙවන සියවස දුටුගැමුණු රජුට පෙර) අද දක්වා එම ස්ථානයේ “ලලාට ධාතුව” ඇති බවට විශ්වාස කෙරේ.

දකුණු යටි දළදාව (15)

කාවන්තිස්ස රජුගේ සොහොයුරිය වූ සෝමා දේවිය කරවූ සෝමාවතී දාගැබෙහි දකුණු දළදාව තැම්පත් කර ඇත. ද්‍රෝන බමුණා විසින් පාදයෙන් යටකර සගවාගත් එමධාතුව, ජයසේන නම් නා රජු නාලොවට රැගෙන ගොස් වන්දනාමාන කළේය . අරිෂ්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතඑන මහාදේව රහතුන්ගේ ශිෂ්යවූ මහින්ද නම් රහතන් වහන්සේ නමක් නාලොවට වැඩ, දළදාව රැගෙන ආ බව සදහන් වේ.

වම යටි දළදාව (16)

ද්‍රෝන බමුණා ධාතු බෙදීමට පෙර, සැරියුත් රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඛේම රහතන් වහන්සේ වම යටි දළදාව ලබාගෙන බ්‍රහ්ම දත්ත නම් කලිගු දේශයේ රජකුට භාරදෙන ලදී. ඉන් පසු සුභාසීව කලිගු රජු සමයේ, පඩි රජුගේ බෑනා කෙනෙකු යුද්ධ කර දළදාව ලබාගැනීමට සැරසුන අතර ඉන් බියට පත් වූ සුභාසීව රජු තම දියනියවූ හේමමාලා සහ බැනනුවන් වූ දන්ත කුමරු අත සිංහලයට වැඩමවූ බව සදහන් වේ. සුභාසිව රජු එම යුද්දයේදී මරණයට පත්විය . සිංහලයට එන ගමනේදී දකුණු දිසාවේ වැලි වලින් සැදු දාගැබක දළදා වහන්සේ රැදවූ බවත්, ඉන් නාගයෙකු සොරාගෙන නැවතත් රහතන්වහන්සේ කෙනෙකුගේ උදව්වෙන් ලබාගත් බවත් සදහන් කරයි . එලෙසම රුවල් සහිත යාත්‍රාවකින් ජලමාර්ගයක ගමන් කර, කිත්සිරි මෙවන් රජු දවස අනුරාධපුරයට පැමිනුනි. එදා සිට අද දක්වා විවිධ රාජධානි වල තැම්පත් කරමින් වර්තමානයේ මහනුවර දළදා මාලිගයේ වැඩසිටින්නේ එම දන්ත ධාතුන් වහන්සේය .

දකුණු අකු ධාතුව (17) උරහිස් අස්ථිය

දෙවැනි පෑතිස් රජදවස මිහිදු හිම්යන්ගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් (සගමිත් තෙරණියගේ ගිහිකල පුතු ) සක්දෙව් හමුවී, ඔබ ලග ඇති වම සහ දකුණු අකු ධාතුන් එකක් ඉල්ලා සිටි සේක. එවිට සක්දෙව් සිළුමිණ සැයේ හි තැම්පත් කර තිබු දකුණු අකු ධාතුව ලබාදුන් බව සදහන් වේ.

අකු ධාතුව ඇතු පිට නංවා දාගැබකට සුදුසු ස්ථානයක් සොයමින් යන අතර එක ස්ථානයක ඇතු නැවතුනේය. එයට හේතුව වුයේ, එම ස්ථානයේ කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුවද, කෝනාගම බුදුන්ගේ පටි ධාතුවද, කාශ්‍යප බුදුන් ගේ ජල සාටිකාවද මෙහි තැම්පත් කර තිබීමය. දෙවනපෑතිස් රජතුමා එම ස්ථානයේ දාගැබක් කර අකුධාතුව තැම්පත් කළේය. සිවු බුදු වරුන්ගේ ධාතු තැම්පත් කල ස්ථානයේ සැදු එම දාගැබ අනුරපුරයේ ථුපාරාමය නමින් අදත් විරාජමාන වන්නාහ.

එදා මල්ලවරජදරුවන් ගේ උයනේ ආදාහනය කල බුදු සිරුරේ ආදාහනය නොවී එම ආකාරයට ඉතිරිවූයේ හිසට ආසන්නව තිබු දන්ත දාතු සතරක්, ලලාට ධාතුව, ග්රීවා ධාතුව සහ වම දකුණ අකු ධාතු පමණි. සෙසු අස්ථ කොටස් කුඩා කැබලි බවට පත්විය. එහි කොටසක් මුන් පියලි වල ප්‍රමාණයෙන් ද, කොටසක් සහල් ඇට ප්‍රමාණයෙන් ද, කොටසක් අබ ඇට ප්‍රමාණයෙන් ද විසිරුන බව සදහන්ය. ද්‍රෝන බමුණා එදා එම කුඩා ධාතු බෙදු භාජනය (cup) ද්‍රෝනය නමින් හැදින්වූ වූ අතර කුඩා කොටස් එකතුකළ විට ද්‍රෝන අටක් (8 cups) තිබු බව සදහන්ය.

ඉන්පසු එම ද්‍රෝන අට රාජ්ජයන් අටකට බෙදාදුන් අතර ඒවා ස්තුප අටක තැම්පත් කෙරුණි. ඒවා අතර රාම ග්‍රාමයෙ කෝලිය වංසිකයන් ද, කිඹුල්වත් පුර ශාක්‍ය වංසිකයන් ද, විශාලා නුවර ලිච්චවී රජදරුවන් ද රජගහනුවර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර, පාවා නුවර සහ කුසිනාරා නුවර තැනු ස්තුප අයත් ය. පීප්පලි නුවර මොවුර්ය රජදරුවන් පැමිණියේ ධාතු බෙදාදීමෙන් පසුවය. එබැවින් ඔවුන් චිතකයේ අගුරු රැගෙන ගොස් “අන්ගාර” නම් චයිත්යක් කරවීය. එලෙසම ද්‍රෝන බමුණා දාතු බෙදාදුන් “බදුන” රදවා දාගැබක් කරවීය. ද්‍රෝන බමුණා ධාතු බෙදීමට මුලික වුයේ ඇතිවීමට ගිය යුධ තත්වයක් වැලක්වීමටය .
එකල සියලු එහි පමණි සියලු රටවල රජදරුවන් අතර ද්‍රෝන බමුණාගෙන් ශිල්ප උගත් සිසුවන් සිටිබවින්, ඔහු හට ධාතු බෙදා තත්වය සමනය කිරීමට හැකි වූ බව සදහන්ය .

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්දනාමාන කිරීමට ච්යිත්ය දහයක් සැදු බව මෙයින් පැහැදිලිවේ. එනම් ද්‍රෝන 8 + අන්ගාර + නැලිය = 10

බුදුරජානන් වහන්සේගේ පරිනිර්වාණ සිදුවී කලක් ගියකළ, මෙසේ තැන් තැන් වල තැනු ච්යිත්ය අටක තිබෙනා ධාතු අනාරක්ෂිත බවත් ඒවා අන්‍ය ආගමිකයන් නිසා කිලිටි හැකි බවත් මහා කාශ්‍යප හිමියන්ගේ අදහස විය. එබැවින් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් ධාතු නිදන්කිරීමට විශේෂ ස්ථුපයක් රහසේම කෙරවිණි. ඉන් පෙර ධාතු තැම්පත් කල ද නිදන් කිරීමක් සිදු නොවිය. තැම්පත් කිරීම යනු ඕනෑම කෙනෙකුට දැක බලාගත හැකි ආකාරයෙන් (ප්‍රදර්ශනය) විහාරයක් තුල තැබීමය. නිදන් කිරීම යනු කිසිම කෙනෙකුට ලගාවිය හෝ දැකගත හෝ නොහැකි ලෙස ශක්තිමත් ගර්භයක රැදවීමය.

අජාසත් රජු, එම විශේෂ ස්තුපය රහසිගත ස්ථානයක, කාටවත් ලංවිය නොහැකි ලෙස වායුවෙන් ක්‍රියාත්මක වූ යන්ත්‍ර යොදා ආරක්ෂාකර (බ්‍රමණය වෙමින් තිබු කඩු සහිත යන්ත්‍රයක්) ධාතු නිදන් කර වීය. කලින් බෙදා දුන් ද්‍රෝන අටෙන් සතක්ම එහි තැම්පත් කරන ලදී , රාම ග්‍රාමයේ කෝලිය වන්සිකයින් තැනු ච්යිත්‍යයේ ධාතු වෙත නාග ආරක්ෂාවද වූ නිසා ලබා නොගැනිණ. කපිලවස්තු මෙන්ම ලිච්චවී ඇතුළු ද්‍රෝන සතම එහි තැම්පත් කෙරුණි. එබැවින් අජාසත් රජු සමයෙන් පසු කපිලවස්තු පුර ධාතු නොවීය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු දෙසිය ගණනක් ගෙවුන කල රජවූ අශෝක රජ විහාර අසු හාරදහසක් කිරීමට ධාතු ලබාගන්නා අටියෙන් ධාතු ඇතැයි පෙර සම්මතයේ තිබු විහාර අට බිඳ (කපිලවස්තු පුර විහාරයද ඇතුළුව) පරීකෂා කරද ධාතු හමු නොවීය. වයස්ගත භික්ෂුන් ගෙන් විමසුවද ධාතු කොහ්දයි කිසිවෙකු දන සිටියේ නැත. ඉන් එක භික්ෂුන් වහන්සේ නමක් තමාගේ ගුරු හාමුදුරුවන් විසින් ආරක්ෂාකරගත යුතු යි පෙන්වූ ගර්භයක තිබී පෙර කල නිදන් කල ද්‍රෝන සත හමු විය. එම ගර්භය බිදීම එතරම් පසු කරුණක් නොවීය , ඊට සක්දෙව් ගේ උපකාරය ලබාගැනීමට සිදුවිය. එය තුල තිබුයේ ද්‍රෝන සතක් බව දන ඉතිරි එක කොහිදැයි ? රජු විමසු බවත්, එය රාම විහාරයේ තිබී ගංවතුරට ගසාගෙන මුහුදට ගොස්, මුහුදු වැල්ලේ තිබෙනු දැක මාන්ජරික නාරජු ලබාගත් බවත්, රහතන් වහන්සේ පැවසු සේක.

ද්‍රෝණයක් ධාතු (18)

දුටුගැමුණු රජතුමා ඉදිකළ රුවන්වැලි සැයේ රදවා ඇත්තේ, කෝලිය වන්සිකයන්ට බෙදාදුන් ධාතුය. සෝනුත්තර නම් සාමනේරයන් වහන්සේ නමක් නා ලොව වැඩ මහකෙල නම් නාරජු හමුව ධාතු විමසුවද නැතැයි පැවසීය. එය වාසුල දන්ත නම් නාගයෙකු සගවාගෙන විසිය. සෝනුත්තර හිමි සම්‍යක්ප්රෝගයකින් ධාතු ලබාගෙන පැමිණියේය.

අද අප පැහැදිලිව හදුනාගත් වැඩිම ප්‍රමාණයක් ධාතු ඇති දාගැබ රුවන්වැලි මහා සෑය වන්නේ එම නිසාය.

උර්ණ රෝම ධාතුව (19)

බුදුරජුන් ගේ නළලේ පිහිටි මෘදු රෝමය, උර්ණ රෝම ධාතුව නම් වේ. මහා පුරුෂ ලක්ෂණයක් වන මෙය දකුණට කරකැවී දගරයක ආකාරයට පිහිටා ඇත. බුද්ධ වග්ග පාලියට අනුව, කොසොල් රටේ ඇති බව සදහන් ය. පසුකලක ධර්මාශෝක රජු හරහා මිහිදු හිමියන් විසින් උර්ණ රෝම ධාතුව සහිත අෂ්ටවංක මානික්‍ය සමගම මිහින්තලයේ සෑගිරි පර්වතයේ නිදන් කළහ. කලකට පසු මහදැලියාන රජු ස්ථුපයක් කරවා ඇත. අද එය මිහින්තලා මහා සැය නම් වන අතර පෙරකළ අම්බුළු දාගැබ යනුවෙන් ද හදුන්වා ඇත.

වම අකු ධාතුව (20) උරහිස් අස්ථිය

තිස්සමහාරාමයේ ඇති බව සදහන් සෙල් ලිපියක්, ලැබුන බව බුදුසරණ පුවත් පතේ පලවී තිබුණි. වංස කතාවට අනුව මෙය තිබිය යුත්තේ සිළුමිණ සැයේහි ය .

නඛා (නිය පොතු ) ධාතුව. (21)

අම්පාර දිස්ත්‍රික්කයේ දීගවාපි මහාසෑයේ බුදුරජාණන් වහන්සේගේ වම හස්තයේ නියපොතු තැම්පත් කර ඇතයි සදහන් වේ. මෙහි සද්ධා තිස්ස රජු ස්තුපය කරවා ඇත .

නඛා වෙහෙර යනු නඛා ධාතු තැම්පත් කල විහාරය. මේවා ලංකාවේ බොහො ගනක් දක්නට ලැබේ.

කැකිරාව පල්ලේකා ගම නඛා වෙහෙරක් ඇත (22) අනුරාධපුර නගරයේ තවත් නඛා වෙහෙරක් ඇත (23)

එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයයෙද නඛා ධාතු, කේෂ ධාතු ද නිධන් කර ඇති බවට විශ්වාසයක් පවතී.

පාත්‍රා ධාතුව (24)

සතරවරම් දෙවිවරු පුජාකළ පාත්‍ර සතර, බුද්ධ අදිෂ්ඨානයෙන් එක්වීය. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය මිහින්තල අම්බස්තල ච්යිත්‍යයේ තැම්පත් කර ඇත .

දළදා මැදුර ඉදිරිපිට නාථ දේවාල භූමියේ ඇති ස්තූපය තුළ හෝ ඒ සමීපයේ ඇති අනෙක් ස්තූපය තුළ හෝ දළදා මැදුර තුළ ඇති කුඩා ස්තූපය තුළ හෝ මල්වතු මහා විහාරයේ ස්තූපය තුළ හෝ පාත්‍ර ධාතූන් වහන්සේ නමක් තැන්පත් ව ඇතැ’යි සැලකේ (25)

ජනප්‍රවාදවලට හා ඇතැම් ලේඛනවලට අනුව බුදුරදුන් දන් වැළඳූ තවත් පාත්‍රා ධාතූවක් තැන්පත් ව ඇත්තේ කෑගල්ල ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ ස්තූපය තුළ යි (26)

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත‍්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අසා පැවසේ. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු, අද කෙනෙකු බුදු වන්නට යන බවට අනාවැකියක් පලකල බව ද සදහන්ය . එම පාත්‍රය අද සොයාගන්නට නැත.

ජල සාටිකා ධාතුව (27) නොහොත් දියනෑමට භාවිත කළ සිවුර

අද එගොඩ කැලණිය වශයෙන් හදුන්වන කිත්සිරිමෙවන් විහාරයේ නිදන්කර ඇත.

පටි ධාතුව (28)

අනුරාධපුරයේ ජේතවනාරාමය තුල කේශ ධාතු වලට අමතරව, බුදුන්ගේ පටි ධාතුව (ඉන බැදී පටිය) සහ තවත් අස්ථි ධාතු අඩංගුවන බව ජේතවනාරාමය වන්දනා කිරීමට යොදාගන්නා ගාථාවේ සදහන්ය.

රන් අසුන (29)

කතරගම කිරි වෙහෙරේ, අසිපත හා කේශධාතු වලට අමතරව බුදුන් වැඩසිටි රනින් කර අසුනක් (පුටුවක්) ඇති බව සදහන් වේ.

මැණික් අසුන (30)

එදා චුලෝදර හා මහෝදර දෙබැයන් පුජාකළ මැණික් පුටුව මනිඅක්ඛික නා රජු සිටි පෙදෙසේ විහාරයක තැම්පත් කල බව සදහන්ය.

නිකවැරටිය නගරයට ආසන්නව ඉදිකර ඇති බුදුමුත්තාව රජමහා විහාරයේ, කිසාගෝතමීය බුදුනට පිදු මුතුහර තැන්පත් කර ඇතැයි විශ්වාසයක් පවතී. බුදුමුත්තාව රජමහා විහාරය මහසෙන් රජුගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙයි (31)

මහින්දා ගමනයෙන් පසු, ථුපාරාමයට දාතු ලබාගැනීමේ අදිටනින් මගදයට පැමිණි සුමන සාමනේර හට, අශෝක රජු පාත්‍රයක් පුරවා ධාතු ලබාදුන් බව සදහන්ය. එම ධාතු කලක් මිහින්තලයේ රදවාගෙන පසුව ඇතකු පිට වැඩමවාගෙන ගොස් සතර ගව්වෙන් සතර ගව්ව, මුළු ලක්දිව පුරාම දාගැබ් කරවා නිදන්කළ බව සදහන්ය. ගව්ව යනු එතරම් දුරක් නොවේ. ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙවායි පවසන්නේ එම නිසායය. පාත්‍රයක් පිරවීමට කුඩා ප්‍රමාණයෙන් විසිරුණු දාතු දහස්ගනනක් දැමිය හැකි බව නම් නොඅනුමානය. අද ලංකාවේ ඇති වෙහෙර විහාර ප්‍රමාණය දකිනවිට මෙයනම් සබැ සත්යක් ම වියයුතු බව පසක් වේ.

ධාතු පරිනිර්වාණය.

ධාතු විස්තරය ඇති වංස කතාවල බුද්ධ සාසනයෙන් වසර පන්දහසක් ගෙවුන කල සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා පරිනිර්වාණය වන බව සදහන්ය. එදිනට ස්තුපවල ඇති ධාතුන් වහන්සේලා අහසට පැන නැග අනුරාධ පුරයේ රුවන්වැලි සැයේ ඇති ද්‍රෝණයක් ධාතු හා එක්වෙයි. ධාතු නිදන්කළ දා සිට රුවන්වැලි සෑය තුල දැල්වූ සිංහා තෙල් පහන එදින නිවී යයි. ඉන්පසු නාගදීපයට වැඩ සියලු ධාතු මැණික් පුටුව මත පිහිටමින් නාගයන් ගේ වැදුම් පිදුම් වලට ලක්වන්නේය. අවසානයේ නැවතත් අහසට නැග එදා බුදුන් බුදුවූ බෝගස යට වජ්රසන්ය මත පිහිටා, බුදුරුවක් නිර්මාණය වී පෙලහර පාන්නේය. සවනක් ඝන බුදුරැස් විදන්නේය. අවසානයේ මහත් ගිනිජාලාවක් පැනනැගි සියලුම ධාතු ආදාහනය වන්නේය. අළු හෝ දැලි කිසිවක් ඉතිරි නොවන්නේය .

සාදු සාදු සාදු !!!


බුදුරජාණන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අම්බවනයෙහි වැඩවෙසෙද්දී. කේවට්ට නම් ගෘහපතියෙක් උන්වහන්සේ වෙත එලඹ, භික්ෂූන් වන්සේලා ලවා සෘද්ධි ප්‍රතිහාර්යය දක්වන ලෙස ඉල්ලීමක් කළේය. එවිට නාලන්ද වැස්සෝ බුදුරදුන් හා භික්ෂූන් කෙරෙහි වඩාත් පහදින ලෙසද පැහැදිලි කළේය. බුදුරදුන් එය තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉහත සඳහන් ප්‍රාතිහාර්ය තුන පිළිබඳවද විස්තර කොට අනුශාසනා ප්‍රතිහාර්යය වඩාත් අගය කොට ඇත.

සෘද්ධි ප්‍රතිහාර්යය යනු ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් එක්කෙනෙකු බොහෝ දෙනෙකුන් වීම, නොයෙක් වෙස් ගැනීම, නොයෙක් රූපයන් මැවීම, අහසින් ගමන් කිරීම පොළොවෙන් ජලයෙහි මෙන් කිමිදීම. පොළෙවෙහි මෙන් ජලයෙහි ඇවිදීම,, ආදි බොහේ දේ කිරීමයි.
ආදේශන ප්‍රතිහාර්යය යනු අන් අය සිතන දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම, පරසිත් දන්නා නුවණින් අන්‍යයන්ගේ සියලු තොරතුරු ප්‍රකාශ කිරීමයි. මෙයද බුදුරදුන් බැහැර කොට ඇත්තේ “මණිකා” නම් විද්‍යාවක් ඇති බවත් භික්ෂූන් වහන්සේලා අන්‍යයන්ගේ සිත් තුල ඇති දෑ ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලාද “මණිකා” විද්‍යාව ඉගෙන එකසේ ප්‍රකාශ කරන බව අන්‍ය ජනයා කියනු ඇතැයි එය ප්‍රතික්ෂේප කොට ඇත. බුදුදහමද එයින් හෑල්ලුවට පත්වේ.
අනුශාසනා ප්‍රතිහාර්යය යනු : මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මේවා දුරුකරව්, මේවා වඩව්, උපදවා ගනිව්, කුසල් කරව්, අකුසල් බැහැර කරව්, පින් කරව්, පව් බැහැර කරව්, ආදී වශයෙන් අනුශාසනා කිරීම අනුශාසනා ප්‍රාතිහාය්‍ය¡යයි. මෙම අනුශාසනා ප්‍රාතිහාර්ය භික්ෂූනට කරන ලෙස අනුමත කොට ඇත.

(1) සෘද්ධි ප්‍රාතිහාර්ය

සෘද්ධි ප්‍රාතිහාර්ය ය “ගන්ධාරී “ විද්‍යාව දන්නා කෙනෙකුට කළ හැකි බැවින් බුදුරදුන් ප්‍රතික්ෂේප කර ඇති අතර අගදේශන ප්‍රාතිහාර්යයය “මණිකා” විද්‍යාව දත් අයටද කළහැකි බැවින් ප්‍රතික්ෂේප කොට ඇත.
බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සෘද්ධි ප්‍රාතිහාර්යය ය ද ඉදිරිපත්කොට ඇති අතර සෘද්ධි බල ඇත්තන් අතුරින් අග තනතුරු ලැබූ මුගලන් හිමි වැනි අයට කරන ලෙසද අනුබල දී ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේලාටම සීමා වූ උන්වහන්සේලාටම කළහැකි ප්‍රතිහාර්යය වශයෙන් යමක මහා ප්‍රතිහාර්යය හැඳින්විය හැකිය.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දින හතක් ගියතැන දෙවියන්ට ඇතිවූ සැකය දුරුකිරීමට යමක ප්‍රතිහාර්යය පවත්වා ඇත. එසේම තීර්ථකයන්ගේ අභියෝගය පිළිගෙන අඹඋයනේදී ද, තම ඤාතීන්ගේ සැකය දුරුකිරීමට කිඹුල්වත් නුවරදීද යමක මහා ප්‍රතිහාර්යය පවත්වා ඇති අවස්ථා තුනක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයයෙහි සඳහන් වේ. මෙය ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඤාණයක් වශයෙන් ද සැලකේ. සමාපත්ති දෙකකට එකවිට වේගයෙන් සමවැදීම මෙම පෙළහරේ ස්වභාවය යි.
තේජෝ කසිගයට හා අපෝ කසින සමාපත්ති වලට වේගයෙන් සමවදිමින් ශරීරයෙන් එක් පැත්තකින් ගින්දරත්, අනෙක් පැත්තෙන් ජලයත් පිටකිරීම යමා මහ පෙළහරයි. දෙකක් එකවිට කිරීම මෙහි අර්ථයයි.
ධ්‍යාන ලැබූ පමණින්ම සෘද්ධි ප්‍රතිහාර්යය පැවැත්විය නොහැකිය. අට්ට සම්පත්ති හා අභිඥා ලබාගත යුතුය. එසේම රහත් වූ පමණින්ද ප්‍රතිහාර්යය කළ නොහැකිය. සෘද්ධි ප්‍රතිහාර්යය කළහැකි තත්ත්වයට සමාපත්ති දියුණු කරගත් පුද්ගලයෝම ඒවා කිරීමට සමත් වෙති. එමෙන්ම පංචවශීතාවන්ද දියුණු කරගත යුතුය. එනම් ආවජ්ජන, සමාපජ්ජන අධිෂ්ඨාන, වූට්ඨාන, පච්ච වෙක්ඛණ යනුයි. වසිනා හෙවත් වසී යනු රිසිසේ යටත්කොට ගෙන පවත්වන්නට සමර්ථ බවයි.
1.ආවජ්ජන : යනු කැමති යම්තැනක කැමති යම් ධ්‍යානාංගයක් කැමති තාක් කල් ආවර්ජනය කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන හෙවත් ප්‍රමාද නොවන බවයි. කම්මැලි නොවන බවයි.
2.සමාපජ්න, යනු කැමති යම් තැනක කැමැති යම් ධ්‍යානාංගයකට කැමැති තාක් කල් සමවැදීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි.
3.අධිෂ්ඨාන යනු කැමැති යම්තැනක කැමැති යම් ධ්‍යානාංගයක් කැමැති තාක් කල් අධිෂ්ඨාන කිරීමෙහි සමර්ථ බවයි. අධිෂ්ඨානයෙහි ලැසි නොවන බවයි.
4.වුට්ඨාන :- යනු කැමති යම්තැනක සමවැදුණු කැමති යම් ධ්‍යානංගයකින් කැමති කාලයක, වෙලාවක නැගී සිටීමෙහි සමර්ථ බවයි. නැගී සිටීමෙහි ලැසි නොවන බවයි.
5. පච්චවෙක්ඛණ යනු කැමති යම් තැනක කැමති යම් ධ්‍යානංගයක් කැමති යම් කාලයක් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙහි හෙවත් මෙනෙහි කිරීමෙහි සමර්ථ බවයි. ඒ සඳහා ලැසි නොවන බවයි. කම්මැලි නොවන බවයි.
මෙම විස්තරයන්ට අමතරව පංච විධවසී පිළිබඳ විශුද්ධි මාර්ගයෙහි කසින නිර්දේශයෙන් බලාගත හැකිය.
බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර්යන් කළ බව මහා වග්ග පාලියෙහි සඳහන් වේ. බුදුරදුන් උරුවේල කාශ්‍යපගේ අසපුවට වැඩම කොට නවාතැන් ඉල්ලූ විට ගිනිහල් ගෙයි පමණක් ඉඩ ඇති බවත්, එහි චණ්ඩ වූ සෘද්ධි ඇති වහා පැතිරෙණ විෂ ඇති දරුණු විෂ ඇති නාරජෙක් ඇති බවත් ඔහුගෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවත් උරුවේල කාශ්‍යප ප්‍රකාශ කොට සිටියේය. බුදුරදුන් ඒවායින් මට කම් නැති බවත් එහි වැඩ සිටීමට අවසරය පමණක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එවිට අවසර දුන්නේය. උන්වහන්සේ ගිනි හල් ගෙට වැඩම කොට තණ ඇතිරිය එලා කය සෘජුකොට හිඳ පලඟ බැඳ සිහිය එලවා වැඩහුන් සේක. එකල්හි නාග තෙමේ කෝපාවිෂ්ටව විෂ දූමයන් පිටකළේය. බුදුරදුන් ඊටත් වැඩියෙන් විෂ දූමයන් පිට කළ සේක. එකල්හි නාගයා දුමත් සමග ගිනි පිට කෙළේය. භාග්‍යවතුන් වහන්සේද තේජෝ ධාතුවට සමවැද ඊටත් වැඩි ගින්නක් පිට කළ සේක. මෙහිදී ගිනිහල්ගෙය ඇවිල ගන්නාසේ පෙනෙයි. ජටිලයෝ මෙය දැක මනා රූ සපුවත් ඇති මහා ශ්‍රමණතෙමේ සෘද්ධිමත් නාගයාගේ ග්‍රහණයට හසුවී විනාශ වෙතැයි සිතූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රූ ඇවෑමෙන් නාගයාගේ තෙද අභිබවා පාත්‍රයෙහි බහා ගෙනවුත් උරුවේල කාශ්‍යපයා හට දැක්වූහ. එහිදී ඔහු “යමෙක් සිය තෙදින් චණ්ඩ වූ සෘද්ධි ඇති නාරජුගේ හෙද නසන්නේද, ඒ මහා ශ්‍රමණතෙමේ මහත් සෘද්ධි ඇත්තේමය. මහත් ආනුභාව ඇත්තේමය. එහෙත් මා මෙන් රහත් නොවෙම යැයි” සිතීය.
අණතුරුව උරුවේල කාශ්‍යප දමනය කිරීමට විවිධ සෘද්ධි ප්‍රතිහාර්යය දැක්වූ බවත් ඉන් පසු බුදුරදුන් කෙරෙහි උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයාකාශ්‍යප යන තුන් බෑ ජටිලයෝම බුදුරඳුන් හා ධර්මය සරණ ගොස් සිය දාහක් පමණ පිරිස සසුන් ගතව රහත් වූ බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.
තවද සෘද්ධි ප්‍රතිහාර්යයක් පාන්නට සාගත තෙරුන්ට උපදෙස් දුන් අවස්ථාවක් පිළිබඳ මහාවග්ග පාලියෙහි පස්වග චම්මක්ඛන්‍ධකයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුලු වර්වතයෙහි වැඩවසන අවස්ථාවේ සාගත තෙරුන් උන්වහන්සේට උපස්ථාන කරයි. ඒ අවස්ථාවේ අවට ප්‍රදේශවාසී ගම් ප්‍රධානීන් අසූ දහසක් පමණ බුදුරදුන් බැහැදැකීමට පැමිණියහ.
සාගත තෙරුන් ඔවුන් ඉදිරියට වැඩමකොට කරුණු විචාරා බුදුරදුන් බැහැදැකීමට බව දැන ඔව්න්ට මොහොතක් නවතින්න යැයි කියා එතනම සඳකඩ පහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතුවී එම පුවත ප්‍රකාශ කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගෙන” එමෙස් නම් වෙහෙර පිටුපස ආසනයක් පනවන්න යැයි කීහ. සාගත තෙරනුවෝ අසුනක් ගෙන බුදුරදුන් ඉදිරියේ පොළොවෙහි ගිලී අසූදාහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ ඇති සඳකඩ පහණින් මතු වී අසුන් පැනවූහ. බුදුරදුන් වැඩම කොට අසුන් ගත්හ. සාගත තෙරුන්ගේ සෘද්ධීන් දැකගත් අසූදහසක් ගම් ප්‍රධානීන් බුදුරදුන්ට ආචාර නොකළහ. සාගත තෙරුන් ගැනම සැලකූ®හ. ඒ බව තම සිතින් දැනගත් භාග්‍යවතුන් වහන්සේ සාගත තෙරුන් ඇමතූ®හ. “සාගත බොහෝ වූ පෙළහර දක්වව්” “එසේය ස්වාමීනි” පිළිතුරු දී අහසට නැග අහසෙහි සිට සක්මන්ද කරයි.
සිටීමද කරයි. සයනය ද කරයි. දුම්ද පිට කරයි. දිලිසෙන්නේද වෙයි. අතුරුදහන්ද වෙයි.
ඉන් පසු සාගත තෙරුන් වහන්සේ අහස්කුසින් බැස, පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල වැඳ වැටී” ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවන සේක. මම ශ්‍රාවක වෙමිය” තුන් වතාවක් ප්‍රකාශ කර සිටියහ. ඉක්බිති අසූදහසක් ගම් ප්‍රධානීන්ගේ එම ආශ්චර්්‍යය දැක පුදුමව භාග්‍යවතුන් වහන්සේ සමාකොට ගෙන උන්වහන්සේට හිසින් වැන්දාහ. භාග්‍යවතුන් වහන්සේ ඔව්න්ට පිළිවෙල ධර්මදේශනා කළ සේක. මෙම පුවතින් දැනගත් හැක්කේ සෘද්ධි ප්‍රතිහාර්යය පෑමට ඇතැම් අවස්ථාවලදී ශ්‍රාවකයන්ටද ඉඩදී ඇති බවයි.
තවද චූල පන්ථක කථාපුවතින් උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය¸ය පිළිබඳ සඳහන් වේ. තම ගුරුවරයාද, සහෝදරයාද වූ මහා පන්ථක තෙරුන් චූලපන්ථක හිමියන්ට ගාථාවක් පාඩම් කරවීමට උත්සාහ කිරීමේදී මාස හතරකදී වත් එය පාඩම් කරවීමට නොහැකි විය. අනතුරුව චූලපන්ථක හිමියන්ට සිවුරු හැර ගෙදර යන්න කීහ.
උන්වහන්සේ හඬ හඬා විහාර දොරකඩ සිටියදී බුදුරදුන් විස්තර විචාරා සෘද්ධියෙන් සුදු රෙදිකඩක් මවා “ රජො හරණං, රජෝ හරණං” යනුවෙන් භාවනාවට අරමුණක් දුන්හ. එම අරමුණෙහිම සිත යොදවා භාවනා කරගෙන යන විට සුදු රෙදිකඩ කිලිටි වන ආකාරය දැක ශරීරයට සිත යොමා ශාරීරයේ දෙතිස් කුණපයන් පිළිබඳ විදර්ශන වඩා සිව් කෙලෙසුන් නසා රහත් බව ලැබූහ. අර්ථ, ධර්ම, නිරුක්ති, පිටිභාන යන සිව් පිළිසිිඹියාද ලබූහ. මනෝමය කායයන් මවන්නන් අතුරින් අගතණතුරු ලැබූහ. මනෝමය සෘද්ධි හා සෘද්ධි විධඥාණය ලැබූහ. තමා මෙන් දහසක් දෙනා මැවීමේ හැකියාවක් උන්වහන්සේට තිබිණ.
අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන් අතරින් අගතනතුරු ලැබූහ. උන්වහන්සේ සෘද්ධියෙන් දෙව්ලොවටත්, නරකය නැමති අපාවලටත් වැඩම කොට ඒවායෙහි කර්මඵල විඳින සත්වයා හා දෙවියන් පිළිබඳ මනුස්සයාට ප්‍රකාශ කරන බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එසේම මසුරු සිටානන් දමනය කිරීමට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දී දමනය කළ අයුරු විස්තර වේ.
තවද අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහරහතන් වහන්සේට කාය දැවිල්ලක් හටගත් අවස්ථාවේ එයට බෙහෙතක් වශයෙන් නෙලුම් අල හා නෙලුඹු දැලි සොයාගෙන ඒමට සිදුවිය.
එහිදී මහ මුගලන් තෙරුණුවෝ වක්කළ අහක් දික් කරන කාලයක් තුළ ජේතවනයෙන් අතුරුදහන්ව මන්දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වී එම බෙහෙත් ගෙනවුත් සාදා දුන්හ. රෝගය සන්සිදුනේය.
තවද කදිරවණරේවත හිමිපාණන් වහන්සේ වැඩ වාසය කළේ ආරන්‍යයෙහි ය. ගසක් මූුලය, භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ බැහැදැකීමට සිත් පහළ වී ඒ බව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙරටු කොට එම ආරණ්‍යයට වැඩම කළහ. ඒ බව දැනගත් රේවත හිමිපාණෝ බුදුරදුන් ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා පිරිසට වැඩසිටීමට අංග සම්පූර්ණ කිසිම අඩුපාඩුවක් නැති දර්ශණීය ආරාමයක් මැවූහ. දෙවියෝද පැමිණ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූ පිරිසට ඇප උපස්ථාන කළහ. දන් දුන්හ.
කීප දිනක් වැඩසිට ආපසු වඩින විටදී පෘථජ්ජන භික්ෂූන්ට රේවත තෙරුන් පිළිබඳ කල කිරීමක් ඇති වූහ. උන්වහන්සේ දර්ශනීය ආරාමයක සැපසේ ජීවත් වන බව සිතමින් අවලාද කියන්නට වූහ. මෙය දැනගත් බුදුරදුන් එම භික්ෂූන්ගේ පාත්‍රා හා සිව්රු වැනි භාණ්ඩ අමතක වීමට අදිෂ්ඨාන කළහ.
ඒ අනුව භික්ෂූන්ගේ එක් එක් භාණ්ඩ අමතක වූ බව බුදුරදුන්ට ප්‍රකාශකොට ඒවා ගෙන ඒමට ආපසු රේවත තෙරණුවෝ සිටි තැනට වැඩම කිරීමේදී පෙර පැවති ආරාමය සොයාගැනීමට නොහැකි වූහ. රේවත හිමි ගසක් මුල බවඅන් වඩමින් හුන්හ. ඒ අවස්ථාවේ රේවත හිමියන් එම ආරාමය මවා ඇති එකක් බව අවබෝධ කරගත් භික්ෂූන් රේවත හිමියන්ගෙන් සමාව ගෙන ආපසු වැඩියහ.
මේ ආදී කරුණු අනුව බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන්, රේවත, ආදී කොට ඇති අභිඥාලාභී, අට්ඨසමාපත්ති උපදවා ගත් සෘෂිවරු පවා සෘද්ධි ප්‍රාතිහාය¸ය දක්වා ඇති බව සඳහන් කළ හැකිය.

(2) අදේශනා ප්‍රාතිහාර්ය

දිනක් තථාගතයන් වහන්සේ සංගාරව නම් බමුණෙකුට වදාළ දේශනාවක් අපට අංගුත්තර නිකායෙහි හමුවෙයි. එහි දී මෙම ප්‍රාතිහාර්යන් පිළිබඳ දක්වා වඳාළ ආකාරය ඉතා පැහැදිළිය.
තීණිඛො ඉමානි, බ්‍රාහ්මණ පාටිහාරියානි, තනමානි තීණි, ඉද්ධිපාටිහාරියං, ආදෙසනා පාටිහාරියං, අනුසාසනා පාටිහාරියං, බ්‍රාහ්මණය මේ ප්‍රාති හාර්යයන් ඇත්තේ තුනකි. ඒවා නම් සෘධි ප්‍රාතිහාර්ය, අදේශනා ප්‍රාතිහාර්ය හා අනුසාසනා ප්‍රාතිහාර්යයි’’ යනු මෙහි අදහසයි.
මෙකී ‘’ආදෙසනා පාටිහාරියං’’ යන වචනය පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ එය මෙසේ සඳහන් කරති.
පරිස්ස චිත්ත ද්වාරං භුත්වා තතනං ආදේශනා පාටිහාරියං’ අනුන්ගේ සිතහි ඇති දෙය දැන කීම ආදේශනා ප්‍රාතිහාර්යයි.
තථාගතයන් වහන්සේලාගේ ආදේශනා ප්‍රාතිහාර්ය සම්බුද්ධත්වයත් සමඟ ලැබෙන්නා වූ දෙයකි. ඇතැම් බාහිර ශාසනික වු අභිඥාලාභී උතුමන්ටද මේ හැකියාව ලබා ගත හැකි බැවින් බුදුවරුන්ගේ මෙකී ප්‍රාතිහාර්ය ස්‍රාවක සාධාරණය අනුන්ගේ සිත බලා කීම ආකාර කීපයකට කළ හැකි බව බුද්ධ දේශනාවෙහිම සඳහන්ව ඇත. නිමිති බලා උපකල්පනයෙන් කීම එක ක්‍රමයකි. මේ කාරණය සඳහා උදාහරණ කතාවක් මෙසේ ය. දිනක් රජකෙනෙක් තමන්ගේ දැතෙහි මුතු ඇට තුනක් සඟවාගන විත් පුරෝහිත බමුණා අමතා තමන්ගේ අතේ ඇති දේ ප්‍රකාශ කරන්න යැයි ඉල්ලා සිටියේ ය.
එනවිට එම බමුණා වට පිට බැලූ විට හූනෙකු විසින් මැස්සෙකු අල්ලාගන්නට ගත් වෑයමත් අවසානයේ දී මැස්සා මිදී පලාගිය හැටිත් දැක ‘මිදුණා’ යැයි යන අදහස ඇති ‘මුත්තා මහාරාජ’ යනුවෙන් පිළිතුරු දුන්නේ ය. පාළි භාෂාවෙන් ‘මුත්තා’ යන පදයෙන් ‘මිදුණා’ යන තේරුමත් ‘මුතුය’ යන තේරුමත් ඇත. එවිට රජු පෙරලා ඇසුවේ මුතු ඇට කීයක් ඇති දැයි කියාය. එවිට පුරෝහිත බමුණා නැවත වට පිට බැලූ විට කුකුළෙකු තුන් විටක් හඬ නැගීය ‘මහරජ තුණයි’ යනු වෙන් බමුණු තෙම උත්තර දුන්නේ ය. නිමිත බලා කීම මේ ආකාරය.
තවද ඇතැම් කෙනෙක් මිනිසුන්ගේ හෝ නොමිනිසුන්ගේ (පීසාච, රජත ආදී) හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසන අනුන්ගේ සිතෙහි ඇති දෙය කියති. දේව දත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේටත් සසුනටත් හානිකර කුමන්ත්‍රණයක් කිරීමට සිතූ විට උන් වහන්සේට එතුවක් පැවැති සෘද්ධි බල අතුරුදන්ව ගියේ ය. එම කාරණය දැනගත් දෙවිකෙනෙක් මේ ප්‍රවෘත්තිය මුගළන් හිමියන්ට සැළකර සිටියේ ය.
තවද නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට දෙවියන්ගෙන් යම් යම් ප්‍රවෘති ලැබුණේය . දෙවියන් හා සබඳතා පැවැත්විය හැකි උතුමන්ට මෙම හැකියාව ලැබේ.
යම් කෙනෙකුගේ සිතෙහි ඇතිවන විතර්කයන්ගේ ශබ්දය අසා ඒ අනුව සිතෙහි ඇත්තේ කුමක් දැයි කීම තවත් ක්‍රමයකි. මෙයත් කළ හැක්කේ සිත දියුණු කළ කෙනෙකුටමය. ඉතා තියුණු සමාධියකින් හෙබි කෙනෙකු මෙවැනි දේ කිරීමේ හැකියාව ලබති.
තවද මේ ක්‍රමයන් හැර අවිතර්ක අවිචාර සමාධියට සමවැදුනු කෙනෙකුගේ සිත තමසිතින් පිරිසිඳ දැන කීමද ආදේශනා ප්‍රාතිහාර්යයයි. තථාගතයන් වහන්සේලා කෙනෙකුගේ ධ්‍යාන සිතක ඇති ගති ලක්ෂණ විණිවිද දකිති. මුගලන් ස්වාමීන් වහන්සේ වරක් ධ්‍යානයකට සමවැදුණාහ. එමෙන්ම ඒ අවස්ථාවෙහි තමන්ට ඇසුණු කුඤ්ච නාදයක් ද විය. මෙකි කාරණා දෙක න්‍යායාත්මකව පරස්පරය.
ධ්‍යානයට සම වැදි ඇති නම් මෙවැනි දෙයක් ඇසුනේ කෙසේ දැයි භික්ෂුහු විමසිළිමත් වුහ. එවිට ඒ කාරණය පැහැදිළි කරන බුදු රජාණන් වහන්සේ මුගලන් තෙරුන්ගේ ඒ සමාධිය දුර්වලව පැවැති බව දේශනා කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේලා ධ්‍යාන සිතක ඇති බල – දුබල කම් මනාකොට දැකීමේ හැකියාවෙන් යුත්තාහ.
කෙසේ නමුදු මෙම ආදේශනා ප්‍රාතිහාර්යයයෙහි දොස් දකිමින් එය උසස් දෙයක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එහිදී උන්වහන්සේ පැහැදිළි කරන්නේ ඇතැම් අශ්‍රද්ධාවන්ත කෙනෙක් මේ ප්‍රාතිහාර්ය දැක එය ‘’මණිකා’’ නම් ශ්‍රාස්ත්‍රයක් නිසා ලැබූ දෙයක් බව හඟිනු ඇති බවය. මෙම දේශනය දැක බුදුරජාණන් වහස්සේ මෙම ප්‍රාතිහාර්යයද බැහැර කළ සේක.
කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රාතිහාර්යයෙන් බොහෝ දෙනාට ධර්මාවබෝධයට මඟ පෑදු ආකාරයද ත්‍රිපිටක ධර්මය තුළ අපට හමුවේ. ඒ අතර ඉතාම විශ්මිත සිදු වීමක් වන්නේ බුද්දක නිකායේ සුත්ත නිපාතය නම් ග්‍රන්ථයෙහි ඇති පරායන වර්ගයේ ප්‍රවෘතියයි. වයසින් අවුරුදු එකසිය විස්සක් වූ ඛාවරීනම් බමුණුකෙනෙකු භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය විමසා බැලීම සඳහා තම ප්‍රධාන ශිෂ්‍ය තාපසතුමාට ප්‍රශ්න පහක් උගැන්වූයේ ය. එම ප්‍රශ්න අසන්නට යැයි කියා දුන්නේ වචනයෙන් නොව හිතෙන් ය. පසුව එය පිළිගත් ශිෂ්‍ය තාපස පූජිත නම් සෘෂිතුමා බුදන්හමුවෙහි එම ප්‍රශ්න මනසින්ම විමසූ විට බුදුරජාණන් වහන්සේ වචනයෙන් පිළිතුරු දුන් සේක .
ඒ ප්‍රශ්න මේවාය .
1. අවි ආචාරියන් වහන්සේගේ වයස කොපමණ ද ?
2. ඔහුගේ ගෝත්‍රය කුමක්ද ?
3.ඔහුගේ ශරීරයෙහි පිහිටා ඇති මහාපුරිස ලක්ෂණ මොනවාද ?
4. ඔහු කොපමණ වේද මන්තර හදාරා ඇත් ද ?
5. ශිෂ්‍යයන් කොපමණකට උගන්වනවාද ?
බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න අජිතගේ මනසෙහි ඇති බව දැන ඊට ගැලපෙන පිළිතුරු ලබා දුන්සේක.
ඔබගේ ගුරුවරයා වයසින් අවුරුදු එකසිය විස්සකි. ඔහු ගෝත්‍රයෙන් බාවරී ගෝත්‍රයට අයත්ය. ඔහුගේ ගතෙහි මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබේ. තුන් වේදයෙහි පරතෙරට ගොස් ඇත. ශිෂ්‍යයන් පන්සිය දෙනෙකුට උගන්වයි’’
මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේලා තුළ පවතින පරිච්ත්ත විජානන ඤාණය කෙතරම් ප්‍රභල දැයි සිතාගත හැකිය. බුදුරජාණන් වහන්සේලා මෙලෙස විනිවිද දකින්නේ මිනිසෙත් සත්ත්වයෙන් තුළ ඇති චිත්ත ප්‍රවෘතිය පමණක් නොවේ.
උන්වහන්සේලාට දෙවියන් බඹුන් වැනි ඕනෑම සත්ත්වයෙකුගේ මනස තම මනසින් දැකිය හැකිය. මේ හැකියාව නිසාද බුදුවරුන්ගේ දේශනාවන විවිධාකාර වී ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ මනෝභාවයන් දන්නා බුදුරජාණන් වහස්සේ ඒ ඒ පුද්ගලයාට හෝ පිරිසට ගැලපෙන පරිදි දේශනාව හැඩ ගස්වති. එනිසා එකම ධර්ම කාරණය ඇතුළත් දේශනා විවිධාකාර උපමා වලින් සැරසී ඇති ආකාරය අපට හමුවෙයි.

(3) අනුශාසනා ප්‍රාතිහාර්යය

අවවාද අනුශාසනා වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධ වූ වචන දෙකක් අපට බොහෝ සෙයින් හුරු පුරුදු ය. නමුත් අරුත් වශයෙන් ඒ දෙකෙහි වෙනස් කම් ඇත. අවවාද යනු වරදක් කළ කෙනෙකුට එම වරද නැවත නොකරන ලෙසට දෙනු ලබන කල්‍යාණ උපදේශන වෙත්. අනුශාසනා යනු වරද වීමට පෙරාතුව, වරදකරණයට පුද්ගලයා ගෝචර වීමෙන් වළක්වා ලීම පිණිස , පූර්වභාගයෙහි දෙනු ලබන මාර්ගෝපදේශන වෙත්.
මේ අනුව අනුශාසනා ප්‍රාතිහාර්යය පිළිබඳව වචනාර්ථ සහිත මූලික අදහසක් අපට ඇති කර ගත හැකිය. අනන්ත දුක් විඳිමින් භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා දුකින් මුදා ඔසවා තැබීම පිණිස අනුශාසනා කිරීමේ ආශ්චර්යවත් බලශක්තියක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා තුළ ඇත්තේ ය. එය උන් වහන්සේලා බැහැරින් ආරූඪ කරගත් ගුප්ත බලවේගයක් නොව තමන් විසින්ම භවාන්තරයක් තිස්සේ අනන්ත කැප කිරීම් මගින් උපදවා ගනුලැබූ අත්‍යන්ත ඵලයකි.
සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වනතුරු මේ හැකියාව සමස්ත විශ්වයෙහි කිසිම බ්‍රාහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට පහළ නොවෙන්නේ ම ය. එනිසාම එය ප්‍රාතිහාර්ය පක්ෂයට ගැනේ. පසේ බුදුවරයාණන් වහන්සේ නමකට ද මේ හැකියාව නැත්තේ ය. මේ ගැන කථා කිරීමට හැකි වන්නේ ද බුද්ධෝත්පාද කාලයක පමණි.
ප්‍රාතිහාර්ය පක්‍ෂයෙන් කථා කරන විට, සමෘද්ධි හා ආදේශනා යනුවෙන් දැක් වෙන්නා වූ අනන්ත බලශක්ති ද්වයක් සම්බුදුවරයන් වහන්සේ තුළ ඇතත්, උන්වහන්සේ ඉහත කී අවශ්‍යතා සත්ත්වයා අරබයා ඉටුකරලීම සඳහා අනුගමනය කරන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය බල ශක්තිය ය. උන්වහන්සේ අගය කරන්නේ ද වර්ණනාකරන්නේ ද අනුශාසනා ධර්ම සන්නිවේදන පිළිවෙත මිස අනෙකක් නොවන බව බුද්ධ චරිතාප්‍රදානය මගින් මනාව ප්‍රකට වේ.
එහෙත් අනුශාසනයෙහි පිහිටුවීමට උචිත නොවන අවස්ථාවලදීත් , මානයෙන් සැකයෙන් අගතිගාමී සිත් ඇති පිරිස් හමුවේදීත් අන් කිසිවෙකුටත් දමනය කළ නොහැකි සැඩ පරුෂ ගති ඇති සත්ත්වයන් දමනය කිරීම සඳහාත් සෘද්ධි හා ආදේශන ප්‍රාතිහාර්ය දැක් වූ අවස්ථා කිහිපයක් පමණක් බුදු සිරිතෙහි ඇතුළත්ව දක්නට ඇත.
අභිඥා පාදක ධ්‍යාන මගින් පෑ යමක මහා ප්‍රාතිහාර්යය, දිව්‍ය මනුෂ්‍ය බ්‍රග්ම සතර අපාගත සත්ත්වයින් එකිනෙකාට පෙනෙන්නට සලස්වන ලෝක විවරණ ආදේශන ප්‍රාතිහාර්යය වැනි අවස්ථා ඊට උදාහරණ ලෙස දැක් විය හැකිය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ සියලු බුදුවරයන් වහන්සේලා අනු ගමනය කරන, අගය කරන ධර්ම සන්නිවේදන පිළිවෙත වන අනුශාසනා ප්‍රාතිහාර්ය පක්ෂය ගැන ය.
සම්මා සම්බුදුවරයාණන් වහන්සේ ලොව පහළ වන්නේ වෙනත් බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, මනුෂ්‍යයෙකුට කළ නොහැකි බුද්ධ කෘත්‍ය දෙකක් ඉටු කිරීම සඳහා ය. එසේ පහළ වීම ධර්ම නියාම ධර්මතාවයකි. ඉන් පළමු වැන්න, සත්ත්වයා දුගතිගාමී හෙවත් සතර අපාගත නොවී ඔසවා තැබීමට ය.
දෙවැන්න අනවරත භව ගමනක යෙදෙන සංසාරගත සත්ත්වයා එයින් මුදා ලීම හෙවත් භවගමන කෙළෙවර කිරීමෙන් ලබන පරම නිෂ්ටාව වන නිර්වානය ක්‍ෂාත් සාත් කර ගැනීම සඳහා පවතින ඒකායන මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) විවෘත කර දීමට ය.
පළමුවැන්න උදා කර නොගත් සත්ත්වයාට දෙවැන්න නොයෙදේ. මේ අනුව ලෞකික ලෝකෝත්තර උභය පක්ෂයන් හි අර්ථ සිද්ධිය උදෙසා ධර්මය දේශනා කිරීම සම්මා සම්බුදුවරයාණන් වහන්සේ තුළ ඇති අසම ශක්තියකි. බල ධර්මයකි. එය අනුශාසනා ප්‍රාතිහාර්යයි.
සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ශාස්තෲවරයෙකි, ගුරුවරයෙකි, මාර්ගෝපදේශකයෙකි, අනුශාසකවරයෙකි, (සත්ථා දේව මනුස්සානං) ඉහත කී අපේක්ෂා එකක්වත් බාහිර හෝ අභ්‍යන්තර සෘද්ධිමය බලයකින් ඉටු කරගත නොහැකි බව උන්වහන්සේගේ ම භාෂිතයෙන් දැක්වෙන්නේ “තුම්හේ හි කිත්තං ආතප්පං – අක්ඛාතාරෝ තථාගත’’ යනුවෙනි. බුදුවරු මග පෙන්වන්නෝ පමණක් වෙත් තමන්ගේ විමුක්තිය තමා තුළින්ම තමා විසින්ම උපදවා ගත යුතුවෙයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රී ශික්‍ෂාවෙන් සමන්නාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මේ නිසා සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ ‘’සබ්බ පාපස්ස – අකරණං ……’’ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන සියලු වැරැදි ක්‍රියාවන් අපහරණය කිරීමත් ස්වකීය උභය විමුක්තිය පිණිස කුසල් දහම් වඩා ගැනීමත් , සත්‍යාවබෝධයෙන් අනුෂය ආසය කෙළෙස් කිළිටි විද්වංශනය කොට චිත්ත පාරිශුද්ධිය ලබා ගැනීමත් යන කාරණා වෙත්. එම ප්‍රාති මෝක්ෂ දේශනාවේ ම තුන් වැනි ගාථාවෙන් ද ප්‍රකාශ කරනු ලබන්නේ, උපවාද නොකිරීම (අනුපවාදෝ), හිංසනයෙන් වැළකීම (අනුපඝාතෝ) , ප්‍රාතිමෝක්ෂ සීල රක්ෂණය (පාතිමොක්ඛේ ච සංවරෝ), භෝජනයෙහි මාත්‍රඥතාවය දැනීම (මත්තඤ්ඤුතාච භත්තස්මිං) විවේක සෙනසුනක වැසීම (පන්තංච සේනාසනං) , අෂ්ට සමාපත්තීන් වැඩීමෙහි වීර්ය වන්ත වීම (අධි චිත්තේ ච ආයෝගෝ) බුදු වරුන්ගේ අනුශාසනය බව යි.
උන් වහන්සේගේ අනුශාසනය අකාලිකය. ප්‍රකාශ කළ ධර්මයක් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වන නිසා උන් වහන්සේ තථාගත වෙත්. එයද උන්වහන්සේ ගේ අනුශාසනා බල ශක්තියකි.
තවද උන්වහන්සේ දේශනා කළ ආර්යධර්මය මනුෂ්‍යයා ගේ විධිමත් අවබෝධය පිණිස, ගුරු මුෂ්ටි නොතබා, ත්‍රිකෝටි කළ්‍යාණ පාරිශුද්ධත්වයෙන් යුතුව මනා කොට අර්ථ ධර්ම නිරුක්ති වශයෙන් බෙදා දක්වා වදාරා ඇත. එසේ දේශනා කළ නිසා අවබෝධ භාග්‍යය ලැබූ අප්‍රමාණ දෙව් මිනිස් සමූහයා සංසාර නිරෝධන ක්‍ෂාක්සාත් කර ගත්හ. උන් වහන්සේ ගේ අනුශාසනා ප්‍රාතිහාර්ය බල ශක්තියේ මහත්භාවය එපමණකින්ම තේරුම් ගත හැකි ය.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඒහි පස්සිකය. ඕපනයිකය. එහි ඒකාධිකාරී හෝ විධායක ලක්ෂණ නැත. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන සතර මහෝපදේශ මගින්ද ඒ බව මනාව ප්‍රකට කරයි.
ඛුද්දක නිකාය ගත ධම්ම පදය කියවන විට පුද්ගලයාට ධර්මය අවබෝධ කරවීම පිණිස අප ජීවත් වන පරිසරයෙන් උපමා රූපක ගෙන දක්වා ඇති ආකාරය විශ්මය ජනකය. ගෞතම බුදුරජාණන් වහන්සේ හතලිස් පස් වසරක් පුරා කළ අනුපමේය මෙහෙවර තුළින් සැබැවින්ම ප්‍රකට වන්නේ උන්වහන්සේ ගේ අනුශාසනා ප්‍රාතිහාර්යම ය. දුප්පත් පොහොසත්, කුලීන , කුලහීන ආදී සියලු ලෞකික තත්ත්වයන්ගෙන් බුද්ධානුශාසනා නිරපේක්‍ෂය.


වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක්නම් පේන්නේ නැහැ. සමහර වෙලාවට පොඩිකාලේ ඉඳන් කියාගෙන ආපු පලියට කියවන එක තමයි කරන්නේ. ඉතින් දැන් ෆේක් වලින් පිරුණු, වැඩකට නැති ත්‍රෙඩ් වලින් පිරුණු කාලෙක බුදුන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය නැති කරන්න රතන සූත්‍රය කියවලා පිරිත් පැන් ඉස්සා වගේ ලට්ට ලොට්ට වලින් පිරිච්ච එළකිරිය පන්සලක් වගේ තැනක් කරන්න ගන්න උත්සාහයක් තමයි මේක. කට්ටිය ඉල්ලන තාක් මමත් ඔය මූලාශ්‍ර හොයාගෙන ලියනවා. මොකද බුදු දහම හා මගේ ජීවිතය ගොඩාක් එකට ඇලී පවතින දෙයක්. එහෙනම් අපි මෙහෙම පටන් අරන් දිගු ගමනය් යමු.

බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තේරුම : ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.

බුද්ධං සරණං ගච්ඡාමි.
තේරුම : මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. උන් වහන්සේ දේශනා කළ මග යමි.

ධම්මං සරණං ගච්ඡාමි.
තේරුම : මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.

සංඝං සරණං ගච්ඡාමි.
තේරුම : මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.

ඊට පස්සේ තියෙන්නේ දුතියම්පි, තතියම්පි කියන කොටස් එකතු කරලා උඩ පාඨම නැවත ආවර්ජනය කිරීමක්.
තේරුම : දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

ඊළඟට තමයි පන්සිල් පද 5 සජ්ජායනා කරන්නේ.
1. පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
තේරුම : පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.

2. අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.

3. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
තේරුම : කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.

4. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
තේරුම : බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.

5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
තේරුම : මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

මෙ ම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙ ම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙ සේ ය.

ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)

1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

සුරා පානය සිදු වන අයුරු.

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

හරි එහෙනම් මේ ත්‍රෙඩ් මාලාව ඉදිරියට කරගෙන යන්නම් කට්ටියගේ ප්‍රතිචාර බලලා.. මොන ප්‍රශ්න තිබ්බත් මම හැමදාම ඉන්න තැන බුදුන්ට පහණ පත්තු කරන කෙනෙක්.. ඒකෙන් ජීවිතයට මාරම සැහැල්ලුවක් ලැබෙනවා. ඔබත් එයට පුරුදු වන්න සැබෑ බෞද්දයෙක් නම්. පිනක් දහමක් කරගන්න වයසට යනකන් ඉන්න එපා අපි කවදා කොයි මොහොතේ මැරෙයිද කියන එක ගැන අපිට විශ්වාස නැති නිසා.. මෙතනට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි..

Posted: September 29, 2014 in සරණක් සොයා ෴

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..
මෙතැන් සිට සක්වල විස්තරය…..(සක්වල විභංගය)

මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1

මිනිසාගේ ආයුෂය – මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.

සැලකිය යුතුය – සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.

බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම – අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.

මහ පොළොවේ පිහිටීම – මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.

තල එකිනෙක පිළිබ‍ද විස්කරය මෙතැන් සිට….

මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.

රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.

දැන් එකිනෙක විස්තර කර ගනිමු.
දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).‍මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
ප්‍රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.

සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.

දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
චාතුර්මහා රාජිකය – දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
තාවතිංස – දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
යාම – දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
තුසිත – දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
නිම්මාණරති – දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
පරිනිම්මිත වසවත්ති – දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)

රූප භූමි දහසය
මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.

දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
බ්‍රහ්මපාරිසජ්ජ – අසංඛ්‍ය කල්ප 1/3
බ්‍රහ්මපුරෝහිත – අසංඛ්‍ය කල්ප 1/2
මහා බ්‍රහ්ම – අසංඛ්‍ය කල්ප 1
පරිත්තාභ – මහා කල්ප 2
අප්පමාණභ – මහා කල්ප 4
ආභස්සර – මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
පරිත්ත සුභ – මහා කල්ප 16
අප්පමාණ සුභ – මහා කල්ප 32
සුභකිණ්න – මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
වෙහප්ඵල – මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
අසඤ්ඤසත්ත – මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
අවීහ(ශ්‍රද්ධාදිකයෝ) – මහා කල්ප 1000
අතප්ප (වීර්යාදිකයෝ) – මහා කල්ප 2000
සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) – මහා කල්ප 4000
සුදස්සී (සමාධි අධිකයෝ) – මහා කල්ප 8000
අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) – මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)

අරූප ලෝක
ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි)‍.අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.

දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
ආකාසානඤ්චායතනය – මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතන – මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතන – මහා කල්ප මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤයතන – මහා කල්ප 84000

‍එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.

දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.

1.අපාය භූමි – පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
2.සුගති – අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
3.තිරිසන් – සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
4.මනුෂ්‍ය – ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
5.චාතුර්මහා රාජිකය – සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
6.තාවතිංස – මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
7.යාම – දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
8.තුසිත – ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
9.නිම්මාණරති – තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
10.පරිනිම්මිත වසවත්ති – අනුන් මවා දෙන සම්පත් විදින
11.බ්‍රහ්මපාරිසජ්ජ – මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
12.බ්‍රහ්මපුරෝහිත – මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
13.මහා බ්‍රහ්ම – ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
14.පරිත්තාභ – ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
15.අප්පමාණභ – පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
16.ආභස්සර – හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
17.පරිත්ත සුභ – ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
18.අප්පමාණ සුභ – පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
19.සුභකිණ්හක – ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
20.වෙහප්ඵල – විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
21.අසඤ්ඤසත්ත – සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
22.සුද්ධාවාස – අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
23.අවීයහ – සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
24.අතප්ප – තැවීම් කිසිත් නැති බැවින්
25.සුදස්ස – පරම සුන්දර සැප ඇති බැවින්
26.සුදස්සී – අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
27.අකනිට්ඨ – කිසිවෙකුට කනිටු නොවන බැවින්

සක්වල විභංගය අවසානයි.මෙම ලිපිය නිර්මාණය කල අපටත් කියවු ඔබටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා…
සාධු…..සාධු…….සාධු….


 

 

පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුණු දවසේ ඉඳලා ටික ටික ගෙවෙන්නේ පිනනේ. මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ පුංචි කාලයේ කරදරයක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, ඒක ඉවර වුණා. ඊට පස්සේ ළමා කාලයේ ඉන්න යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. තරුණ කාලයේ යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. මේ විදිහට ඉවර වෙවී යන්නේ පින නේද? එතකොට මේ විදිහට පින ඉවර වෙවී යද්දී එයා අළුතින් පිනක් රැස් කරන්නේ නැත්නම් පින ඉවර වූ ගමන් පෙරට එන්නේ පවයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දීත් පින් රැස්කරපු නැති අය හිටියානේ. ඔබ අහලා තියෙනවනේ අපුත්තක සිටාණන් ගැන. දරුවෝ නැති එක සිටුවරයෙක් හිටියා. එයාගේ සිටුදේවියත් මැරුණා. එයා එතැන සම්පූර්ණයෙන් අධිපති වෙලා සිටියේ. නමුත් එයාගේ කරත්තේ හිටියේ නකුටු අශ්වයෝ දෙන්නෙක්. හණ වැහැරිවලින් තමයි කරත්තය සරසලා තිබුණේ. මෙයා ගෝනි පඩංගුවක් තමයි ඇන්ඳේ. ඊළඟට මෙයා නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. මෙයා එහෙම ජීවත් වෙලා මැරිලා ගියා.

ඊට පස්සේ සියලූ වස්තුවම රජයට අයිති වුණා. ගණන් කරලා බලද්දී රත්තරං විතරක් කෝටි අසූවක් තිබුණා. ඉතින් දවසක් දවල් කාලයේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගියා.
එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා,

‘‘රජතුමනි, මොකද මේ මහ දවල්…? මේ කොහේ ඉඳලා එන ගමන්ද..?”

‘‘අනේ ස්වාමීනී, අර අපුත්තක සිටාණෝ මළා නෙව. එයාගේ දේපලවලට කවුරුවත් අයිතිකාරයෝ නෑ. ඒක රජය සතු වුණා. ඒකෙ ගණන් හිලව් බලන්න ගිය ගමන් මම මේ ගොඩවුණේ. ඒ සිටු මාළිගාවේ රත්තරං විතරක් කෝටි අසූවක් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයා හරියට කාපු කෙනෙක් නෙවෙයි. හරි හමන් ඇඳුමක් ඇඳලත් නෑ. ගෝනි පඩංගු තමයි පොරවලා තියෙන්නේ. වාහනේ හැටියට තිබිලා තියෙන්නේ නකුටු අශ්වයෝ දෙන්නෙක් යොදවපු කරත්තයක්. ස්වාමීනී, ඔහුගේ පරලොව ජීවිතය කුමක් වේවිද?”

‘‘රජතුමනි, දැන් එයා නිරයේ…” කොසොල් රජ්ජුරුවෝ උඩ ගියා.

‘‘ඈ…! භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේද…?” කියලා තුන් වතාවක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ තුන් වතාවේම එයා නිරයේ කියලා කිව්වා.

බලන්න, එයාට සිටු පවුලක උපදින්න ඵල දුන්නේ සංසාරයේ කරන ලද පිනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙයා අතීත ජීවිතයක පසේබුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන්න අන් අයව පෙළඹෙව්වා. ගෙදර කට්ටියට දන් දෙන්න කියලා කිව්වා. හැබැයි පස්සේ දීපු දේ ගැන පසුතැවුණා. සිත අපහදවා ගත්තා. ‘අනේ… මේ දේ සේවකයෙකුට දුන්නා නම් අඩු ගණනේ උදලූ ගා ගන්නවත් තිබුණා… එහෙම නම් වත්තේ පිටියේ හරි වැඩක් කරවා ගන්නවානේ…’ කියලා පසුතැවුණා. නමුත් දන් දෙන්න කියලා කියපු නිසා ඒ හේතුවෙන් හත් වතාවක් සිටු තනතුරු ලැබුණා. මේ හත්වෙනි වතාව.

ඉතින් අර තිබුණු පින් ඉවර වෙවී ගියා. එතෙක් කාලයකට පිනක් කරලා නෑ. ඒ අතර වාරයේ මෙයා එක වතාවක් ඉඩම් පළහිලව්වකට ළමයෙක් මරලා නිරයේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ආයෙමත් අර පින මතුවෙලා සිටු පවුලක ඉපදුණා. ඉපදුණාට දීපු දේ සතුටින් දුන්නේ නැති නිසා කන්න හිතෙන්නේ නෑ. අඳින්න හිතෙන්නේ නෑ. හොඳට ජීවත් වෙන්න හිතෙන්නේ නෑ. ඒ වගේම එයා අලූතින් පිනක් කරගත්තෙත් නෑ. ඒ නිසා අර මිනී මැරුමට සම්බන්ධ සංසාර කර්මයේ ඉතුරු ටික මතුවෙලා ආයෙමත් නිරයේ ගියා.

එතකොට බලන්න පින්වතුනි, මෙහෙම වෙන්නේ පින් රැස්කර ගන්න ලැබෙන අවස්ථාවලදී ඒ අවස්ථාව අත්හැරීම නිසා නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘අඩු ගණනේ කුසල් රැස්කිරීම පිණිස සිතක්වත් උපද්දවන්න’ කියලා. මම ඔබට නිතර නිතර කියලා තියෙනවා නේද, අඩු ගණනේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන සිත පහදවා ගන්න කියලා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, නිවන ගැන සිත පහදවා ගන්න කියලා. මොකද, ඒ සිත පහදවා ගැනිල්ලත් අපට යම්කිසි දවසක ධර්මාවබෝධ කරන්න උපකාර වෙනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !